ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක


උපුල් වික්‍රමසිංහ


මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර ඇතැයි වාර්තාවේ. 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වී, දැන් පොහොට්ටුවෙන් ඉවත්ව සිටින පිරිසක් මෙම මෙහෙයුමට සම්බන්ධ වී සිටිති. ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට තම කණ්ඩායමේ සාමාජිකයෙකු පත් කර ගැනීමේ මෙහෙයුමක නිරත වෙන අතර එළැඹෙන ජනාධිපතිවරණයේ දී මෙම පිරිස වෙනම පක්ෂයක් ලෙස පොදු සන්ධානයක පොදු 
අපේක්ෂකයෙකුට සහාය පළ කිරීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු වන නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂයේ ලේකම් සාරතී දුෂ්මන්ත මහතාට ලිපියක් යොමු කරමින් කියා සිටින්නේ එළැඹෙන සඳුදා දිනයේ දී වහාම පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස් කරන ලෙසයි. මේ සඳහා මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර සහ ශාන් විජේලාල් ද සිල්වා යන තිදෙනා මෙම සාකච්ඡාවට කැඳවීමට අවශ්‍ය නොවන බවද එම ලිපියේ සඳහන් කර තිබේ. 
මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වමින් ඉකුත් 4දා කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය. 
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පක්ෂයේ ලේකම් සාරතී දුෂ්මන්ත මහතා පසුගිය සිකුරා සවස දන්වා ඇත්තේ කොළඹ දිසා අධිකරණයෙන් නිකුත් කරන ලද වාරණ නියෝගය තවමත් තමන්ට ලැබී නොමැති බවයි. වාරණ නියෝගයේ අන්තර්ගත කරුණු නොදැන මේ අවස්ථාවේ කටයුතු කිරීමට තමන්ට නීත්‍යනුකූල බලයක් නොමැති බවද ලේකම්වරයා දන්වා තිබේ. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 2018 (සංශෝධිත) ව්‍යවස්ථාවේ 16 වැනි වගන්තිය ප්‍රකාරව ක්‍රියා කිරීමට තමන් ​නෛතිකව බැඳී සිටින බවද ඔහු දන්වා යවා තිබේ. 
මේ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීප වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානයක මහතා පැවසුවේය. තමන්ගේ කණ්ඩායමේ මේ සටන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන්ගේ දේශපාලන අනාගතය ශක්තිමත් කිරීම සඳහා බවයි. 
“මේක අපේ පෞද්ගලික සටනක් නෙවෙයි. මේක පක්ෂයේ සාමාජිකයන් වෙනුවෙන් කරන සටනක්. පක්ෂය අල්ල ගන්න අපිට ඕනැ නෑ. අපේ පාක්ෂිකයන් වෙනුවෙන් අපි පෙනී ඉන්න ඕනෑ. ඉදිරියේ දී මැතිවරණ රැසක් තියෙනවා. එහෙම තියෙද්දී හිතුමතේ තීරණ අරන් දවසින් දවස එකිනෙකා එළවලා මේවා කරන්න බෑ. එතකොට පාක්ෂිකයෝ අනාථ වෙනවා.”
“ 2015 දී මමයි මෛත්‍රී මහත්තයයි එළියට ආවේ පවුල්වාදයෙන් පක්ෂය බේර ගන්න. දැන් වෙලා තියෙන්නේ පක්ෂය පුද්ගලයෙකුගෙන් බේර ගන්න. මෙහෙම එක්කෙනෙකුට අයිති පක්ෂයක් විදියට මේක කරන්න දෙන්න බෑ. මේක විහිළුවක් වෙනවා. අපිව හාස්‍යයට ලක්වෙනවා. ” යැයි දුමින්ද දිසානයක මන්ත්‍රීවරයා පැවසීය.