ආණ්ඩුව ජනාධිපතිවරණයකට සජබ මහමැතිවරණයකට


උපුල් වික්‍රමසිංහ / අජන්ත කුමාර අගලකඩ

ලබන වසරේ අප්‍රේල් මාසය වෙන විට මහමැතිවරණයක් පැවැත්වීමට රජය යොමු කිරීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වැඩිපිරිසකගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. මේ සම්බන්ධයෙන් පක්ෂය අභ්‍යන්තරයේ සාකච්ඡා වී තිබෙන අතර ඒ ගැන පක්ෂ නායකත්වය දැනුම්වත් කර සැලසුම් සකස් කිරීමට ඔවුන්ගේ අවධානය යොමුව ඇතැයි ද දැන ගන්නට ලැබේ.  


මේ අතර, ලබන වසරේ දී මහමැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩු පක්ෂය සූදානම් වෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මීළඟ ජනාධිපතිවරණය ව්‍යවස්ථානුකූලව ලබන වසරේ නොවැම්බර් මාසයට පෙර පැවැත්විය යුතු අතර මහමැතිවරණය 2025 අගෝස්තුවට පෙර පැවැත්විය යුතුය. 
ඒ අනුව, ලබන වසරේ අගෝස්තු මස දී ජනාධිපතිවරණය ප්‍රකාශයට කිරීමට ආණ්ඩු පක්ෂයේ අවධානය යොමුව තිබේ. 


වර්තමානයේ ආණ්ඩුව දැඩි බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ජනතාව මත දැඩි පීඩනයක් ඇති කරමින් සිටින හෙයින් ඉතාමත් ඉක්මනින් ආණ්ඩු වෙනසකට යා යුතු බව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසකගේ අදහස වී තිබේ. මේ අනුව ලබන වසරේ අප්‍රේල් මාසයට පෙර මහමැතිවරණයක් ලබා ගත යුතු යැයි සජබ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ. 


එහෙත් ආණ්ඩු පක්ෂයේ අපේක්ෂාව අනුව පළමුව ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් එම ජනාධිපතිවරණයට, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු සන්ධානයක අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට ඉඩ ඇති අතර, අයවැයෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සමඟ ඒ සඳහා වෙන වැඩපිළිවෙළකට සූදානම් වෙනු ඇතැයි දැනගන්නට තිබේ.