අගමැති ඉවත් වෙයි


(අජන්ත කුමාර අගලකඩ)

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෙට (09) ඉල්ලා අස්වීමට  තීරණය කර ඇතැයි වාර්තා වේ.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ ඉකුත් 06 වැනිදා රාත්‍රි පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී  අගමැතිවරයා ඉල්ලා අස්වීමට කැමැත්ත පළකර ඇතැයි දැනගන්නට ඇත.

රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී තත්වය හමුවේ තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින්, අගමැතිවරයා ඉල්ලා අස්වන බව කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇතැයි දැනගන්නට ඇත.


අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමග කැබිනට්  මණ්ඩලය ද ඉබේම අහෝසි වනු ඇත.


රට තුළ ඇතිව තිබෙන ආර්ථික හා දේශපාලන අර්බුදයත්, ජනතාවගෙන් එල්ල වී ඇති දැඩි විරෝධයත් හමුවේ රටේ ආර්ථිකය පවත්වාගෙන යාම  බරපතළ ගැටලු‍වක් වී ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. අර්බුදකාරී තත්වය හමුවේ සංචාරකයන් නොඑන බවත්, කර්මාන්ත ශාලා පවා වැසීමෙන් බරපතළ ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙමින් තිබෙන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.එහිදී  අදහස් දක්වා ඇති අගමැති මහින්ද රාජපක්ෂ මහතා අර්බුදයට විසඳුම තමා ඉල්ලා අස්වීම නම් අගමැති ධුරයෙන් ඉවත්ව විපක්ෂයට යාමට සූදානම් බව ප්‍රකාශ කර ඇත.