අගමැති ඉවත් නොකලොත් විශ්වාසභංගයට ස්වාධීන පිලේ සහාය


(අජන්ත කුමාර අගලකඩ)

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් වී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම්, විපක්ෂයෙන් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට සහාය දීමට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හතළිස් දෙනාගේ කණ්ඩායමේ අවධානය යොමුවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ජාතික සමගි ජන බලවේගය සමග ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතැයි ද දැනගන්නට ඇත. විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළහොත්, අලු‍තින් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන සැලැස්ම සම්බන්ධයෙන්ද, මන්ත්‍රී කණ්ඩායම මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ද එම ආරංචි මාර්ග කියයි. 


එම යෝජිත අන්තර් කාලීන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසි දෙනකුට අඩුවිය යුතු බවට ද යෝජනා වී ඇත. 
මේ අතර, අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරුව, අර්බුද විසඳීම සම්බන්ධයෙන් සහාය ලබා ගැනීමට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විදේශීය තානාපතිවරුන් හමු වී සාකච්ඡා කිරීමට ද පියවර ගෙන ඇති අතර, ඒ අනුව රුසියානු තානාපතිවරයා ඉකුත් බ්‍රහස්පතින්දා ද, චීන තානාපතිවරයා ඉකුත් සිකුරාදා ද හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ. 


අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉවත්වී, නව අගමැතිවරයකු යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන ලෙස මෙම කණ්ඩායම රජයෙන් දිගින් දිගටම ඉල්ලා සිටි නමුත්, ආණ්ඩුවෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා විශ්වාසභංග යෝජනාවට සහාය දීමට සිදුවනු ඇතැයි ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.