22 වැනි සංශෝධනයට ආණ්ඩුවේ ඡන්ද මදි


සම්මත කිරීම ගැටලුවක්

මන්ත්‍රී රැස්වීමේදී දැඩි විරෝධයක්

අජන්ත කුමාර අගලකඩ

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි විරෝධය පළ කිරීම හේතුවෙන්, එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ ගැටලු‍වක් මතුවී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. බී. දිසානායක, ආචාර්ය සරත් වීරසේකර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කර ඇත.


එම තත්ත්වය තුළ කෙටුම්පත සම්මත කර ගැනීම ගැටලුවක් වී ඇතැයි පැවසේ.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීත්, අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ හමුවේ දීත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර ඇත.   


එහි විශේෂත්වය වන්නේ එම සාකච්ඡා දෙකේදීම විජයදාස රාජපක්ෂ ඇමතිවරයා හැරුණු විට වෙනත් කිසිවකුත් ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව අදහස් නොදැක්වූ බවද දැනගන්නට ඇත.   


එමෙන්ම පාර්ලිමේන්තුව වසර දෙකහමාරකට පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලබාදීම සම්බන්ධයෙන්ද පොදුජන පෙරමුණ දැඩි විරෝධය පළ කර ඇත.   


මෙම පනත් කෙටුම්පත ඉකුත් 06 සහ 07 දෙදින විවාද කර සම්මත කර ගැනීමට මුලින් දින වෙන් කරගෙන තිබුණද ඇතිව තිබෙන විරෝධය හමුවේ එය ලබන සතියට කල් දමනු ලැබීය. 

 
එය ලබන සතියේදී විවාදයට ගෙන සම්මත කර ගැනීම මේ තත්ත්වය තුළ ගැටලුකාරී වී ඇතැයි දැනගන්නට තිබේ