21 වැනි සංශෝධනයෙන් පොහොට්ටුව දෙකඩ වෙයි ?


පක්ෂ- විපක්ෂ මත දෙකක්

(අජන්ත කුමාර අගලකඩ) 

විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මතුව තිබෙන මත ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩවීමේ අවදානමක් මතුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

විසි එක්වැනි ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී පිරිසක් කැමැත්ත පළකර ඇතත් යම් පිරිසක් ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇතැයි දැනගන්නට තිබේ. 
දහ නවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සහ විසිවැනි සංශෝධනය අක්‍රීය කිරීම අරමුණු කරගනිමින් ගෙනෙන විසිඑක්වැනි සංශෝධනය ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත. 


නව සංශෝධනය හරහා ද්විත්ව පුරවැසිභාවය හිමි අයට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට තිබෙන ඉඩ ඇහිරීම සහ ජනාධිපතිවරයාගේ බලතලවලින් කොටසක් අගමැතිවරයාට පැවරීම යන කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් විරෝධය පළ කර ඇති බවද දැනගන්නට ඇත. මෙම නව ව්‍යවස්ථා සංශෝධනය සඳහා පොදු ජන පෙරමුණේ බහුතර පිරිසක් සහාය ලබා දෙන නමුත් පිරිසක් විරුද්ධව ඡන්දය දීමට හෝ ඡන්දය දීමෙන් වැළකී සිටීමට බොහෝ දුරට ඉඩ ඇති බවද දැනගන්නට ඇත. 
මේ සම්බන්ධයෙන් පක්ෂය තුළ මත ගැටුමක් ද නිර්මාණය වී ඇති අතර, එය පක්ෂය දෙකඩවීමක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇතැයි පැවසේ. 


මේ අතර, විසිඑක් වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම හෙට (30) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයට කැඳවා ඇත.