- විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් අදියරේ
- විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතියක් හඳුන්වා දෙයි
- මත්ද්‍රව්‍ය පාලන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 1500 ක්
- බදු සහන ලබා ගත් අය පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කරයි
- මහපොළ රුපියල් 2500 කින් ඉහළට
- රාජ්‍ය අංශයේ වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා කටයුතු කරන කොමිසමක්
- රාජ්‍ය සේවකයන්ගේ නිවාස හා දේපොළ ණය ලක්ෂ 50 දක්වා
- 2026 තුන් වැනි කාර්තුවේ දී පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කෙරේ
- ජනවාරි පළමු වැනිදා සිට රජයේ ආයතන වෙත ඉලෙක්ට්‍රොනික ගෙවීම් දිරිමත් කරයි
උපුල් වික්‍රමසිංහ සහ ලවංගා මාධවී දෑරංගල
වසර 2025 අවසන් වෙනවිට ආර්ථික අර්බුදය උද්ගත වීමට පෙර පැවති තත්ත්වයට රටේ ආර්ථිකය ගෙන යා හැකි යැයි ජාතික ජන බලවේග රජයේ දෙවැනි අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය සිකුරාදා (07) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ආබාධ සහිත පුද්ගලයන් 140,000 කට අස්වැසුමෙන් රුපියල් 10,000 බැගින් සහනාධාරයක්
2025 අයවැයෙන් වැඩි කළ රාජ්‍ය සේවක වැටුප්වල දෙවැනි අදියර සඳහා රුපියල් බිලියන 110 ක්
එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචි වීමේ වාර්ෂික පිරිවැටුම් සීමාව 2026 අප්‍රේල් මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් මිලියන 60 සිට 30 දක්වා අඩු කෙරේ
රාජ්‍ය ව්‍යවසායයන් සඳහා නව පනතක්
“2020 වසරේදී ආර්ථිකයේ තිබූ අර්බුදකාරී තත්ත්වය ක්‍රමිකව පුපරායන තත්ත්වයකට පත් වුණා. මෙය ආර්ථිකයේ සියලු ක්ෂේත්‍ර කරා ඩොමිනෝ ආකාරයෙන් පැතිර ගියා. එහි අවසන් ප්‍රතිඵලය වූයේ 2022 අප්‍රේල් වෙනවිට අප බංකොලොත් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්වීමයි. මෙම ආර්ථික බංකොලොත්භාවය විසින් අප රටට අහිමි දශකයක් නිර්මාණය කළා. එනම් අර්බුදයට පෙර පැවති ආර්ථික තත්ත්වය ළඟා කර ගැනීම සඳහා අවුරුදු 10 ක් ගත වෙන බවයි.
ඒ අනුව බොහෝ අය ප්‍රකාශයට පත් කළේ එම 2019 වසරේ ආර්ථික තත්ත්වය 2029 වසරේ දී ළඟා කරගන්නා බවයි. එහෙත් 2025 වසර අවසන් වෙන විට අර්බුදයට පෙර පැවති ආර්ථික තත්ත්වය ළඟා කරගැනීමට අපට හැකි වෙනවා” යනුවෙන් ජනාධිපතිවරයා එය පැහැදිලි කළේ ය.
සෑම මන්ත්‍රීවරයකුට ම කැබ් රථය බැගින් ලබා දීමට පියවර ගන්නා බව ද හෙතෙම ප්‍රකාශ කළේය. ඒ අයවැය කතාව අතරතුර විපක්ෂයේ මන්ත්‍රීවරුන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
වාහන බලපත් (පර්මිට්) සංස්කෘතිය අවසන් විය යුතු බව ද ඒ අනුව යමින් කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට වාහන බලපත්‍ර මින් ඉදිරියට ලබා නොදෙන බව ද හෙතෙම අවධාරණය කළේය.
රාජ්‍ය ආයතන වෙත අත්‍යවශ්‍ය වාහන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම මත ලබා දෙන වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රමාණයක් මිලදී ගැනීමට තීරණය කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 12,500 ක් වෙන් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් කීවේ ය.
වසර කිහිපයකින් සියයට 7 ඉක්මවා යන ආර්ථික වර්ධනයක් ළඟා කරගනිමින් එහි ප්‍රතිලාභ රටේ සෑම ප්‍රදේශ, ප්‍රජාවන් සහ සමාජ කණ්ඩායම් අතර සාධාරණව බෙදී යෑම සහතික කිරීම රජයේ ප්‍රධාන උපායමාර්ගික අරමුණ වෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
රජයට විදේශ ණය ගෙවිය හැකි බව අවධාරණය කළ හෙතෙම 2028 දී විදේශ ණය සේවාකරණය ආරම්භ කළ යුතු බව ද 2025 වසර සඳහා විදේශ ණය සේවාකරණය වෙනුවෙන් ගෙවිය යුතු වූ ඩොලර් මිලියන 2,435 ක මුදලින් මේ වසරේ සැප්තැම්බර් වෙනවිට ඩොලර් මිලියන 1,948 ක් ගෙවා ඇති බව ද හෙළි කළේ ය.
ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කිරීමටත් ආයෝජන ආරක්ෂා කිරීමටත් 2026 වසරේ මුල්භාගයේ දී ආයෝජන ආරක්ෂණ පනත සම්මත කරන බව කී ජනාධිපතිවරයා ආර්ථික වර්ධනයට, රැකියා උත්පාදනයට සහ සහ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩිකිරීම සඳහා සහාය වීමට අවශ්‍ය ආයෝජන ගෙන ඒම අරබයා පෞද්ගලික අංශයට එම කටයුතුවලට විනිවිදභාවයෙන් යුතුව සම්බන්ධ වීමට පහසුකම් සැපයෙන රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව පනත 2026 මුල් භාගයේ දී අනුමතය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද කීවේ ය.
මේ අතර 2026 වසර සඳහා වෙන අයවැය ලේඛනයෙන් රාජ්‍ය අංශයේ වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා කටයුතු කිරීමට කොමිසමක් පත් කිරීමට යෝජනා කරන බව කී මුදල් අමාත්‍යවරයා වැටුප් හා විශ්‍රාම වැටුප් තිරසාර ආකාරයට කළමනාකරණය කිරීමටත් වසර ගණනාවක් තිස්සේ ඇති වූ වැටුප් විෂමතා හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට ඇති වෙන අභියෝග සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රශ්නයට විසඳුම් ගෙන ඒමටත් මෙම කොමිසම පත් කරන බව වැඩිදුරටත් කීවේ ය.
අයවැය කතාව කරමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කී ප්‍රධාන අයවැය යෝජනා කිහිපයක පහත පරිදි ය.
- රාජ්‍ය සේවකයන්ට ලබා දුන් දේපොළ ණය යෝජනා ක්‍රමය ණය ව්‍යුහයක් යටතේ සක්‍රීය කර රුපියල් ලක්ෂ 50 ක් දක්වා ණය ලබා ගැනීමට අවස්ථාව ලබා දීම.
- උත්සව අත්තිකාරම් මුදල පහළොස් දහස දක්වා වැඩි කිරීම, ආපදා ණය අත්තිකාරම් මුදල රුපියල් 250,000 සිට 400,000 දක්වා වැඩි කිරීම.
- වසර 20 කට පසු දුෂ්කර සේවයේ නිරත ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට ගෙවන දීමනාව රුපියල් 1,500 කින් වැඩි කිරීම.
- සොබාදහම කේන්ද්‍ර කරගත් හා ඓතිහාසික උරුමයන් හුවා දක්වන සංචාරක ගමනාන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 3500 ක් වෙන් කිරීම.
- බේරේ වැව සංවර්ධනය කර කොළඹ නගර මධ්‍යයේ පවතින ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීමට පියවර ගැනීම.
- කෘත්‍රිම බුද්ධිය, ක්ලවුඩ් පරිගණක සහ දත්ත මධ්‍යස්ථාන ඇතුළුව ඊළඟ පරම්පරාවේ ඩිජිටල් යටිතල පහසුකම් සඳහා රුපියල් මිලියන 3000 ක් වෙන් කිරීම.
- 2026 වසරේ තුන් වැනි කාර්තුවේ දී පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීම.
- මුදල් නෝට්ටු රහිත සමාජයක් ඇති කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා සියලුම රජයේ ගනුදෙනු සඳහා මාර්ගගත ගෙවීම් මාදිලිය මගින් පහසුකම් ලබාදීමට යෝජනා කිරීමත් ඒ යටතේ ආරම්භයක් ලෙස ඊට දිරිගැන්වීමක් ලබා දීමට රාජ්‍ය ආයතනවලට ගෙවීම් කිරීමේ දී සේවා ගාස්තු අය නොකිරීමට යෝජනා කිරීමත් 2026 ජනවාරි පළමු වැනිදා සිට රජයේ ආයතන වෙත ඉලෙක්ට්‍රොනික ගෙවීම් සඳහා වෙන සියලුම සේවා ගාස්තු ඉවත් කිරීමට අවසර ලබා දීම.
- ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 6500 ක් වෙන් කිරීම.
- විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක රටම එකට ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය පාලන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 1500 ක් වෙන් කිරීම.
- රටපුරා විසිර සිටින මිලියන 1.6 ක් වෙන ආබාධ සහිත ප්‍රජාව රටේ සමස්ත ජනගහනයෙන් සියයට 7 ක් වන හෙයින් ආබාධ සහිත පුද්ගලයන් 140,000 කට රුපියල් 10,000 බැගින් සහනාධාරයක් අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩසටහනෙන් ලබා දීමට රුපියල් මිලියන 19,000 ක මුදලක් වෙන් කිරීම.
- රුකියාවක නියැළිය හැකි ආබාධ සහිත තැනැත්තන් පෞද්ගලික අංශයේ රැකියා සඳහා යොදාගන්නේ නම්, රුපියල් 15,000ක උපරිමයකට යටත්ව සේවක වැටුපෙන් සියයට 50ක් මාස 24ක් දක්වා රජය මඟින් ගෙවීමට රුපියල් මිලියන 500ක් වෙන් කිරීම.
- බදු පදනම පුළුල් කිරීම සඳහා එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචි වීමේ වාර්ෂික පිරිවැටුම් සීමාව 2026 අප්‍රේල් මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් මිලියන 60 සිට 30 දක්වා අඩු කිරීම.
- දැනට සියයට 25:75 මට්ටමේ පවතින සෘජු හා වක්‍ර බදු අනුපාතය සියයට 40:60 මට්ටමට ගෙන ඒම.
වසර 2025 දී සිදු කරන ලද රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනවලට අනුව එහි දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීමට රුපියල් බිලියන 110 ක ප්‍රතිපාදන වෙන් කර ඇත. 2026 ජනවාරි මස වැටුපේ සිට සියලුම රාජ්‍ය සේවකයන්ට මෙම වැටුප් ගෙවීමට කටයුතු කරනු ලැබේ.
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබා දෙන මාසික මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා රුපියල් 2500කින් ඉහළ නැංවීමට නියමිත අතර ඒ අනුව මහපොළ දීමනාව රුපියල් 10,000 දක්වාත්, ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 9,000 දක්වාත් වැඩි කිරීමට කටයුතු කර ඇත. එසේ ම වෛද්‍ය නිර්දේශ මත ආබාධිත දරුවන් සඳහා රුපියල් 5000ක දීමනාවක් මාසික ව ලබාදීමට කටයුතු සකසා ඇති අතර ම විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල පහසුකම් වැඩි කිරීමට හා පර්‌යේෂණ කටයුතු සඳහා රුපියල් මිලියන 11,500ක් හා වෘත්තීය පුහුණු අධ්‍යාපනයේ අභිවෘද්ධිය සඳහා රුපියල් මිලියන 8,000ක් මෙවර අයවැයෙන් වෙන් කිරීමට නියමිත ය.
දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස මධ්‍යම රජයේ ණය ප්‍රමාණය 2030 වෙද්දී සියයට 87 දක්වා අඩු කිරීමට අපේක්ෂා කෙරේ.
වතු කම්කරුවන් සඳහා දැනට ගෙවන රුපියල් 1350ක අවම වැටුප රුපියල් 1550ක් දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇති අතර ඊට අමතර ව පැමිණීමේ දෛනික දිරි දීමනාවක් ලෙස රජය විසින් රුපියල් 200ක් ගෙවීම සඳහා රුපියල් මිලියන 5000ක ප්‍රතිපාදන වෙන් කර ඇත.
2026 මාර්තු වන විටදී ඩිජිටල් වත්කම් ප්‍රකාශ කිරීමේ පද්ධතියක් හඳුන්වා දීමටත් රාජ්‍ය ප්‍රසම්පාදන කටයුතු වෙනුවෙන් විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතියක් හඳුන්වා දීමටත් කටයුතු කෙරේ.
අවිධිමත් බදු සහන ලබා දීමේ සංස්කෘතිය අවසන් කර ඇතැයි ද ඒ සඳහා තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනතක් හඳුන්වා දීමටත් ක්‍රමෝපාය සංවර්ධන පනත හා වරාය නගර සංවර්ධන පනත සංශෝධනය කරන බව ද බදු සහන ලද අය පිළිබඳ තොරතුරු මහජනතාවගේ දැනගැනීම පිණිස මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
රාජ්‍ය ව්‍යවසායයන් සඳහා රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනතක් 2026 මුල්භාගයේ දී අනුමතය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරේ.

