මොණරාගල අපේක්ෂකයෝ ඡන්ද දායකයන්ගේ බිල් ගෙවති


විනීතා එම් ගමගේ
 
මොනරාගල දිස්ත‍්‍රික්කයේ ස්ථාන කිහිපයක අපේක්ෂකයන් විසින් ඡන්ද දායකයන් ගේ විදුලි බිල් හා ජල බිල් ගෙවීමේ සිද්ධින් රාශියක් පිළිබඳ තම නිරික්ෂකයන් නිරීක්ෂණය කර ඇතැයි පැෆරල් සංවිධානය කියයි.
 
මේ  සම්බන්ධව පැමිණිලි කිහිපයකුත් ලැබී ඇතැයි පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය. 
 
එමෙන්ම ඡන්ද පත‍්‍රිකා සහ හැඳුනුම්පත් මුදලට ගැනීමේ ව්‍යාපාරයක් බේරුවලින් වාර්තා වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. හැඳුනුම්පතක් හා ඡන්ද පත‍්‍රිකාවක් සඳහා රුපියල් 2500 බැගින් ගෙවා ඇති සිද්ධියක් පිළිබඳව තම නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ඔහු පැවැසුවේය.  මැතිරවණයෙන්  පසු එම හැඳුනුම්පත් ආපසු ලබා දීමට පොරොන්දු වී ඇති බවත් ඡන්ද පත‍්‍රිකා අන්සතු කිරීම සිර දඬුවම් ලැබිය හැකි වරදක්  බවත්, එසේ යම් අපේක්ෂකයෙකු ඡන්ද පත‍්‍රිකා  ලබා ගත් බව ඔප්පු වුවහොත් ඔහු දිනුවත් ආසනය අහිමි වන බවත් හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේය. 
 
මේ අතර නුවරඑළියේ අපේක්ෂකයින් මත්පැන් දන්සැල් පවත්වන බව නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ද දිවයිනේ බොහෝ පළාත්වලින් මෙවැනි දන්සැල් පැවැත්වෙන බව වාර්තා වී ඇතැයි ද හෙතෙම පැවැසීය. 
 
මෙසේ නීති විරෝධී ලෙස අල්ලස් ලබා දෙන අපේක්ෂකයන් ජය ගත හොත් ඔවුන් නීතියට අනුකූලව කටයුතු කරනු ඇතැයි සිතිය නොහැකි බැවින් එවැන්නන්ට ඡන්දය දීමට පෙර දෙවරක් සිතා බලන්නැයි ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටින බව ඔහු තව දුරටත් ප‍්‍රකාශ කළේය.