බීමතින් රිය පැදවූ පොහොට්ටුවේ අපේක්ෂකයකුට දඩ


(උපාලි ආනන්ද)

බීමත්ව  රිය පැදවූ බවට නොච්චියාගම පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද මෙවර පළාත් පාලන මැතිවරණට තරග වදින අපේක්ෂකයකු එකී චෝදනාවට වරදකරු බවට නිගමනය කළ තඹුත්තේගම මහේස්ත‍්‍රාත් චමිලා නදීෂානි මහත්මිය ඔහුට රුපියල් 20000ක දඩයක්  නියම කළාය.

ඊට අමතරව  සැකකාර මැතිවරණ අපේක්ෂාකයාගේ රියදුරු බලපත‍්‍රය මාස තුනකට අත් හිටුවීමටද මහේස්ත‍්‍රාත්වරිය තවදුරටත් නියෝග කළාය.

මෙසේ දඩ නියම කෙරුණේ ශ‍්‍රී ලංකා  පොදු ජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට නොච්චියාගම ප‍්‍රාදේශීය සභාව සඳහා තරග වදින අපේක්ෂකයකු වන ටිකිරි බංඩාගේ ජයනන්ද දිසානායක නමැත්තාටය.

මෙම සැකකාර මැතිවරණ අපේක්ෂකයා  මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ඔහුගේ මැතිවරණ පෝස්ටර් අලවන බවට ලද තොරතුරකට අනුව නොච්චියාගම පොලිසියේ නිලධාරීන් කන්ඩායමක් ගොස් පරික්ෂා කළ අවස්ථාවේ දී බීමත්ව සිටියදී අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෝස්ටර් අලවමින් සිටි ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් නොච්චියාගම ප‍්‍රාදේශීය සභාවට තරග වදින අපේක්ෂකයකුට  සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනකුට මේ මස 23 වැනිදා තඹුත්තේගම මහ්ස්ත‍්‍රාත් අධිකරණය  හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කරමින් මහේස්ත‍්‍රාත්වරිය නොතීසි නිකුත් කළාය.