පළාත් පාලන ආයතන වල පෙර තනතුරුදැරු අයට පොහොට්ටුවෙන් තැනැක්


නාලක සංජීව දහනායක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත් මහ නගර සභා,නගර සභා හා ප‍්‍රාදේශීය සභා සඳහා නගරාධිපතිවරුන්, උපනගරාධිපතිවරුන්, සභාපතිවරුන් හා උපසභාපතිවරුන්  පත් කිරීමේදී මීට පෙර එම තනතුරු හෙබවූ පුද්ගලයන්ට ප‍්‍රමුඛතාවය දීමට එම පෙරමුණ තීරණය කර තිබේ.
            
ඔවුන්ට එම තනතුරු ලබාදීමේදී  දේශපාලන පළපුරුද්ද, නායකත්වයේ හැකියාව හා ජනාධිපතිවරණ පරාජයෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ දේශපාලනය කිරීම ආදී නිර්ණායකයන් කිහිපයක් පිළිබඳව සළකා බැලූබව පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයකු පැවසීය.
       
කොට්ඨාශ මට්ටමින් වැඩිම ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගත් අපේක්‍ෂකයන්ට තනතුරු ලබාදිය යුතු බවට යෝජනාවී තිබීම හේතුවෙන් ගැටලූකාරී තත්ත්වයක් හටගෙන තිබිණි. එම ගැටලූකාරී තත්ත්වයන් විසදීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කිරීමට පොදුජන පෙරමුණ තීරණය කළේය.
              
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ආයතන 239 ජය හිමිවූ අතර ඒ ආයතනවල බලය මීට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබුණි. එම ආයතනවල හිටපු සභාපතිවරුන් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මැතිවරණයට ඉදිරිපත්ව ජය අත්කර ගත්තේය.