නිදහසේ වේදිකාව නිමල්කා වෙනුවෙන්


(විනීතා එම් ගමගේ)

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සඳහා කොමසාරිස්වරුන් පත් කිරීමේ දී නිමල්කා ප‍්‍රනාන්දු පත් කිරීම පිළිබඳ විරෝධතා මතු වන නමුත් ඇය වෙනුවෙන් කොන්දේසි විරහිතව නිදහසේ වේදිකාව සංවිධානය පෙනී සිටින බව නිදහසේ වේදිකාව කැඳවුම්කාර මණ්ඩල සාමාජික බ්‍රිටෝ ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළේය. 

දැන් ඇයට විරුද්ධ වන මහින්ද රාජපක්ෂ මහතා හමුදාවට එරෙහිව 89 දි ජිනීවා යන්නට අරමුදල් පවා සොයා දුන්නේ නිමල්කා ප‍්‍රනාන්දු මහත්මිය යැයි දැන් ඔහුට අමතක වී ඇතැයි ද හෙතෙම කියා සිටියේය. 

මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (6) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එහි දී තව දුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ ද පැවැසීය.

‘‘මේ කාර්යාලය පිහිටෙව්වේ රණවිරුවන් දඩයම් කරන්නමයි කියල සරත් වීරසේකර හා විමල් වීරවංශ මහ හඬින් ගුගුරනවා. කාවින්ද ජයවර්ධන හා ජෝන් සෙනෙවිරත්න මේ පත්වීම්වලට එකඟ නැහැ කියල කෙකර ගානවා. මෙය සිදු නොවිය යුතුයි කියා ඔවුන් කියනවා. මේ ගුගුරන්නෙත් කෙකර ගාන්නෙත් දකුණේ ඡන්ද වෙනුවෙන්.“

“නිමල්කා ගෝඩ් මදර්, අපි ඇය පත් කළාට විරුද්ධයි කියා මහින්ද රාජපක්ෂ කියනවා. නමුත් 89 දී අතුරුදන් වූවන්ගේ ෆයිල් අරන් ජිනීවා යන්න යද්දි නිමල්කා හොඳයි. අද නරකයි. එදා ජිනීවා යන්න මුදල් හොයල දුන්නේ නිමල්කලා. අපි නිමල්කා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා.“ 

1971 /1989 කාලෙදී ලෝකයේ අතුරුදන් වීම් වැඩිම රටවල් අතර දෙවැනි තැන ගත්තේ ලංකාවයි. එදා දකුණේ තරුණයන් අතුරුදන් වෙද්දි හමුදාවට එරෙහිව පියවර ගන්න  ඕන කියල හඬ නැගුවේ මහින්ද රාජපක්ෂයි. දකුණේ අතුරුදන් වූ තරුණයන්ගේ අම්මලා අපටත් සාධාරණයක් ඉටු කරන්න කියල අද ඉදිරියට එන්න අවශ්‍යයි.’’