(කාංචන කුමාර ආරියදාස)
‘‘එක්සත් ජාතික පක්ෂයෙන් දඹුල්ල මහ නගර සභාවට හා දඹුල්ල ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කොට ඇති අපේක්ෂකයන් කවුරුන්ද යන්න මම තවමත් දන්නෙ නෑ... මම ඒ අයට උදව් කරන්නේ ෆේස්බුක් දැකලා‘‘ යැයි එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් පවසයි.
දඹුල්ල මහ නගර සභාව සහ දඹුල්ල ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කොට ඇති අපේක්ෂකයන් හෝ ලයිස්තුවෙන් ඉදිරිපත් කොට ඇති අපේක්ෂකයා කවුරුන්ද යන්න තමන්ට තවමත් ආසන සංවිධායකවරයා විසින් දැනුම් දී නොමැති බවත් තිස්ස බණ්ඩාර හේරත් මහතා කියා සිටී.
තරග කරන අපේක්ෂකයන් පිළිබඳව තමන් දැනුවත් වුයේ සමාජ ජාලා වෙබ් අඩවි හා ෆේස්බුක් වලින් බවත් බෝහෝ අපේක්ෂකයන් තමන්ගේ සහයෝගය ඉල්ලා සිටින්නේ ෆේස්බුක් හරහා බවත් ඒ අනුව එම අපේක්ෂකයන්ට සහයෝගය ලබාදීම සිදුකරන බවද සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ දඹුල්ල ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්න මහතා විසින් මෙතෙක් අපේක්ෂක නාම ලේඛනයක් තමාට ලබා නොදීම නිසා අපේක්ෂකයන් ජයග්‍රහණය කරවීම සඳහා බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ පා ඇති බවද පළාත් සභා මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අපේක්ෂක ලැයිස්තුව සකස් කිරීමේදී හෝ පළාත් සභාව නියෝජනය කරන එකම එක්සත් ජාතික පක්ෂයේ දඹුල්ල ආසනයේ මන්ත්‍රීවරයා වූ තමාගේ කිසිදු සහයෝගයක් ලබා නොගැනීම නිසා ද තමන් බලවත් සිත් තැවුලට පත්ව සිටින බවද කීය.
මේ පිළිබදව දඹුල්ල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්න මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ එවැනි නාම ලේඛනයක් කිසිම අයකුට ලබාදී නොමැති බවත් සියලුම අපේක්ෂකයන් එක්ව පැය තුනක වැඩමුළුවක් පැවැත් වූ බවත්ය. ඊට තිස්ස බණ්ඩාර හේරත් පළාත් සභා මන්ත්‍රීවරයා ද පැමිණ සිටි බවත් එදින සියලුම අපේක්ෂකයන්ගේ නාමලේඛනය ප්‍රදර්ශනය කර තිබුණු බවත් ඔහු කීවේය.