සයිටම් ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් ඒ මහතාගේ පැමිණිල්ල පරස්පර විරෝධී බව එම සිද්ධිය විමර්ශනය කරන පොලිස් නිලධාරීහු පැවසූහ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වීමට රජයේ රස පරීක්ෂකගේ වාර්තාව එන තෙක් සිටින බවත් මෙම සිදුවීම සිදුවු ස්ථානයේ සී.සී.ටී.වී දර්ශන භාවිතයෙන් පරීක්ෂණ සිදු කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙක් කීවේය.
රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුව පැවසූයේ එම වාර්තාව සති තුනක් ඇතුළත නිකුත් කරන බවයි.
පසුගිය 06 වැනි දා මාලබේ සයිටම් ආයතනය අසලදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු සේනාරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබූ බව කියන අතර සේනාරත්න මහතාට කිසිදු තුවාලයක් සිදු නොවීය.
සේනාරත්න මහතා සයිටම් ආයතනයේ සිට චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ මීටර් 850ක් පමණ ගිය පසු මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර ඉන් මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවට හානි සිදුවිය.
සේනාරත්න මහතාගේ ඇදුම් හා මොටර් රථය රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති අතර සේනාරත්න මහතාට පොලිස් ආරක්ෂාව දී තිබේ. සේනාරත්න මහතා මේ වන විට විදෙස්ගතව සිටියි.

