“පරිසරය රකින්නන්ම පරිසරය කනවා“


පරිසරය විනාශ කරන්නන්ට ඉඩ දී පරිසරය රකින්නට කැප වී සිටින රාජ්‍ය ආයතන නිහඬව සිටින බවට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා එම ආයතන ප‍්‍රධානීන්ට චෝදනා කළේය.

 පස් කඳු කපා හෙළන්නට වැලි ගොඩදමන්නට මෙන්ම කැලෑ කපන්නට ද බලපත‍්‍ර ලබා දී ඇත්තේ  පරිසරය රකින්නට කැපවී සිටින ආයතන විසින්ම බවත් බලපත‍්‍ර ලබා දුන් පසු සිදුවන්නේ කුමක් දැයි නිකමටවත් ඔවුන් සොයා බලා නැතැයි පෙනෙන බවත් හෙතෙම සඳහන් කළේය.

මහනුවර කොළඹ මාර්ගයේ ඉදිකිරීම් සඳහා පස් කපා ගැනීමට යැයි කියමින් පස් කපා ගැනීමට ඉකුත් ජනවාරියේ බලපත‍්‍ර නිකුත් කොට ඇති බවත් තවමත් අරඹා නැති මාර්ගයකට මාස දහයක් තිස්සේ කැපූ පස් දැමුවේ කොතැනක දැයි ජනාධිපතිවරයා ප‍්‍රශ්න කළේය.

අඹේපුස්ස ඔරලෝසු කණුව අසල කන්ද සම්පූර්ණයෙන් කපා අවසන් කොට ඇති බවත්, අලව්ව ප‍්‍රදේශයේ ගමකට පානීය ජලය සපයන දිය උල්පත ඇති කන්දක් ජනතා විරෝධය නොතකා කපා ඇති බවත් කී සිරිසේන මහතා එය කපන්නට ඉඩ නොදුන්නොත් පොලිසි ගෙන යන බව පවසා ජනතාව බිය ගන්වා ඇති බවත් සඳහන් කලේය.

මේ ප‍්‍රදේශයේ ජනතාව අතර තමන්ට දැඩි අප‍්‍රසාදය පළවන අතර ඊට හේතුව මෙම පස් කැපිම බව ඔත්තු සේවා දන්වා සිටීම නිසා සොයා බලා වහාම එහි පස් කැපීම් නැවැත්වූ බවත් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

එහි පස් කැපීම් බලපත‍්‍රලාභියා පස් කපා ඇත්තේ “මේක ජනාධිපති ගේ  ඕඩර් එකක්“ යැයි  කියමින් බව ජනපති කීවේය.

DSC_0864 DSC_0881 DSC_0901 DSC_0917 DSC_0926 DSC_0989 DSC_0993