“දුම්රිය ඉඩම යළි ඕනෑ“


මරදානේ පැරණි ට්‍රිපොලි වෙළෙඳ සංකීර්ණයට යාබද දුම්රිය ඉඩම් අක්කර පහක් නාගරික සංවර්ධන අධිකාරිය නීතිවිරෝධී ලෙස පවරාගෙන ඇතැයි ද එම තීන්දුව ඉල්ලා අස් කර නොගතහොත් වැඩ වර්ජනයකට යෑමට වුවද සූදානම් බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ නීතිවිරෝධී ලෙස මෙම පවරාගැනීම් සිදුව ඇති බැවින් එම ඉඩම් යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවටම ලබාදීමට පියවර ගන්නා ලෙස රජයට බල කරන්නේ යැයි දුම්රිය කර්මාන්තශාලා කළමනාකරුවන්ගේ සංගමයේ සභාපති එල්.එල්.කේ ජයතිලක මහතා ‘‘ලංකාදීප* යට පැවැසීය.

ඉඩම නැවතත් දුම්රිය දෙපාර්තමේන්තුවට පවරා ගන්නැයි බල කරමින් දුම්රිය ශ්‍රේණිගත එකමුතුව හා දුම්රිය ඒකාබද්ධ පෙරමුණ ඇතුලු දුම්රිය සේවකයන් රැසකගේ සහභාගිත්වයෙන් අද (17) මරදාන දුම්රිය ස්ථානය ඉදිරිපිටදී සංකේත විරෝධතාවක් ද පැවැත්විණි.