“ජවිපෙ ඇතුළේ ගැටුමක් නෑ”


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක හා අන්තර්ජාතික ලේකම් සෝමවංශ අමරසිංහ මහතා සමග සාකච්ඡා කර ඔහු යළි පක්ෂයට බඳවා ගැනීමට හැම උත්සාහයක්ම ගැනීමට එහි දේශපාලන මණ්ඩලය අද (17) තීරණය කළේය.

අමරසිංහ මහතා පක්ෂයෙන් ඉවත්වීමටත් අලුත් පක්ෂයක් පිහිටුවා ගැනීමටත් සැරසේ. පක්ෂය සම්බන්ධයෙන් පැතිර යන කටකතාවල කිසිදු සත්‍යයක් නොමැති බවද ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කියයි.

ජවිපෙ  නිවේදනයක්  නිකුත්   කරමින්  මෙසේ  ද   කියයි.

ජවිපෙ  දේශපාලන   මණ්ඩල  සභීක  සෝමවංශ අමරසිංහ  සහෝදරයා   2015.04.16 දින  ජවිපෙන්  ඉවත්  වන  බව  ප්‍රකාශ කොට   තිබේ.

මෙය  ඉතා   පැහැදිලිව ම  සෝමවංශ  අමරසිංහ    සහෝදරයාගේ   පෞද්ගලික තිරණයකි. මෙම  තීරණය  ප්‍රකාශයට    පත්  කරන   තුරු  ඒ  පිළිබඳ ව පක්ෂය   දැනුවත්   භාවයක  සිටියේ  නැත. සෝමවංශ   අමරසිංහ  සහෝදරයා  පක්ෂයෙන්  ඉවත් වීමට   ගත්   තිරණයට  අප   එකඟ  නොවන   බව අවධාරණය   කළ යුතු ය. සෝමවංශ   සහෝදරයා   පක්ෂයෙන්   ඉවත්වන  බව  දැනගත්   මොහොතේ සිට  එම  තීරණය  වෙනස්කර   ගැනිමට   අපි  සාකච්ඡා   කරමින්   සිටිමු. සෝමවංශ  සහෝදරයා  නැවත  පක්ෂයට   සම්බන්ධ කර  ගැනිම සඳහා   අපි උපරිම  ලෙස  කටයුතු   කරන අතර  එය  සාර්ථක  වනු  ඇතැයි   සිතමු.

සෝමවංශ   සහෝදරයා   පක්ෂයෙන්   ඉවත්වීමට  ගත්   තීරණය  පක්ෂයේ   අභ්‍යන්තර   ගැටුමක්   හෝ  පක්ෂයේ   අර්බුදයක්   නොවන  බව  ද , එය  සෝමවංශ   සහෝදරයාගේ  පෞද්ගලික  තීරණයක් බව  ද  අවධානය කරමු.