ගිං ගඟ ව්‍යාපාරයේ පොම්පාගාර සියල්ල අබලන් වී ඇති බවත් මෙවර අයවැයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලැබෙන මුදල් අඩුකර ඇති නිසා රුපියල් මිලියන 700ක ඇස්තමේන්තුවකින් පොම්පාගාර අළුත්වැඩියා කිරීමට යෝජනා කර තිබූ ව්‍යාපෘතිය අතර මග නවතා දැමීමට සිදුවී ඇති බවත් ගාල්ල මාතර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂිකා දීපිකා ත්‍රිමාවිතාන මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ය.
“ දැනට ගිං ගඟ ව්‍යාපාරයට අවුරුදු 40ක් වෙනවා. මෙහි පොම්පාගාර 10ක පොම්ප 35ක් තිබෙනවා. මේ පොම්ප සියල්ල අබලන් වෙලා. පසුගිය කාලයේ ඉතා අපහසුවෙන් තමයි වැඩ කළේ. පොම්පාගාර සියල්ල ඉතා ඉක්මනින් නවීකරණය කිරීම අවශ්‍යයි. ගං වතුර කාලයට මේවායින් ලොකු සේවයක් වෙනවා. පිටරටින් පොම්ප 35 පමණක් ආනයනය කරන්න රුපියල් මිලියන 375ක් යනවා. සම්පූර්ණ අළුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියට රුපියල් මිලියන 700ක් වැයවෙන බව ඇස්තමේන්තු කර තිබෙනවා. අයවැයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලැබෙන මුදල් සියයට හැටකින් කපා හැරලා. එවිට මේ ව්‍යාපෘතියට රුපියල් මිලියන 125යි ලැබෙන්නේ. පොම්ප ගෙන්වන්නේ නැතිව අනිත් අළුත්වැඩියා කටයුතු පටන්ගෙන වැඩක් නැහැ.
මේ පොම්පාගාර තිරය පිටුපස සිට විශාල සේවයක් කරනවා. කාටවත් මේ ගැන ලොකු අවබෝධයක් නැහැ. මේවා තිබුණේ නැත්නම් විශාල ගං වතුරක් එනවිට සුනාමිය වගේ ව්‍යසනයක් වෙනවා. ඒ නිසයි අපි කියන්නේ මේවා අළුත්වැඩියා කරන්න ඕන කියලා.“ යැයි ඇය පැවසුවාය.