“ඇය දැයේ අභිමානයයි”


(ඩයනා උදයංගනී)

ජාත්‍යන්තර කාන්තා දිනය අද (8) ට යෙදී ඇති අතර, මෙවර එහි සැමරුම් තේමාව වන්නේ “ඇය දැයේ අභිමානයයි” යන්නයි.

මෙවර කාන්තා දින සැමරුම් ප්‍රධාන උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී අද පෙරවරු 10.30ට පැවැත්වේ.

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය මගින් මෙම උත්සවය සංවිධානය කර ඇති අතර, ශ්‍රී ලංකාවට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් අත්කර දුන් සුවිශේෂී කාන්තාවන් සිවුදෙනෙකු ඇගයීම ද මෙහිදී සිදුකෙරේ.

ඒ අනුව ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද සුජාතා අත්තනායක, ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන, ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වා යන මහත්මීන් සහ දෙපා හා එක් පාදයක් අහිමිව තිබියදීත් තම එකම පාදයෙන් ලියමින් අධ්‍යාපනයේ ඉහළට ගිය රශ්මි නිමේෂා ගුණවර්ධන මෙනෙවිය මෙහිදී ඇගයීමට නියමිතය.

එමෙන්ම දිස්ත්‍රික් මට්ටමින් තෝරාගත් සාර්ථක ව්‍යවසායිකාවන් ඇගයීම ද මෙහිදී සිදුකෙරේ. කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතය.