“ඇමරිකාවේ ගුවන් තොටුපළවලදී ශ්‍රී ලාංකිකයන්ට හිරිහැරයක් නෑ“


ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික තහනම හේතුවෙන් එරට ගුවන් තොටුපළවලදී කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හිරිහැරයක් හෝ රඳවා තබාගැනීමක් සිදුව නැතැයි ඇමෙරිකාවේ සිටින ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකයින් විදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දී ඇත.

මෙම තත්ත්වය ගැන ශ්‍රී ලංකා දූත පිරිස් අවධානයෙන් සිටින බවත් ඇමෙරිකානු ආයතන සමග සමීපව කටයුතු කරන බවත් එම අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක මහේසනී කොලොන්න මහත්මිය පවසයි.

“ශ්‍රී ලාංකිකයෙකු ඇමෙරිකානු ගුවන්තොටුපලකදී  යම් කිසි රඳවාගැනීමකට ලක් වුවහොත් 001 917 597 7009 දුරකථන අංකය හරහා නිව්යෝක්හී සිටින දූත පිරිස් වෙත දැනුම් දෙන්න.“කොලොන්න මහත්මිය සිය ට්විටර් ගිණූමේ සඳහන් කර තිබිණි.

ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කරමින් රටවල් හතකට නිකුත් කරන ලද තහනම් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව නැති බව ද කොලොන්න මහත්මිය වැඩිදුරටත් කියන්නීය.