’’ලංකාවේ නිෂ්පාදනාගාරවල විෂ මත්පැන් හදනවා’’


(යොහාන් භාසුර)

ස්කාගාර, ධාන්‍ය මත්පැන් සහ රා බෝතල් කිරීමේ නිෂ්පාදනාගාරවල මිනිස් පරිභෝජනයට නුසුදුසු සහ අනුමත නොකළ ද්‍රව්‍ය යොදාගනිමින් මත්පැන් නිෂ්පාදනය කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. පේමරත්න මහතා පවසයි.

මත්පැන් නිෂ්පාදනාගාරවල සුරාබදු දෙපාර්තමේන්තුවේ නීති හා රෙගුලාසි උලංඝණය කරමින් නිෂ්පාදන කරන බවත් එම තත්වය පිළිබඳව දැඩි අවධානය යොමුකර ඒවා වැලැක්වීමට නීතිමය පියවර ගන්නා ලෙස සුරාබදු නිලධාරීන්ට දැනුම් දුන් බවත් පේමරත්න මහතා කීය.

මෙම තත්වය පිළිබඳව අවධානය යොමුකර සියලුම මත්පැන් නිෂ්පාදනාගාරවලට නීති විරෝධී ආකාරයට මත්පැන් නිෂ්පාදනය නොකරන ලෙස ලිඛිතව දැනුම්දී ඇති බව කී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනය කරන්නේ යැයි තහවුරු වූ ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගත් බව ද සඳහන් කළේය.

සුරාබදු නිලධාරීන් ඉදිරියේදී ඒ පිළිබඳව අඛණ්ඩව අවධානයෙන් පසුවන බව කී පේමරත්න මහතා පැවසුවේ එවැනි නිෂ්පාදානාගාර නීතිය ඉදිරියට යොමුකරන බවත්ය.