’’බල්ලා එලෙව්වට කිනිතුල්ලො හැම තැනම’’


(අංජුල මහික වීරරත්න)

බල්ලා එලෙව්වට කිනිතුල්ලො හැම තැනම ඉන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.

අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්  කිරීම සදහා අද (16) පෙරවරුවේ එහි පැමිණි අවස්ථාවේදීයි.

පාර්ලිමේන්තු වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කිරීම පිළිබදව පරීක්ෂණයක් පවත්වන ලෙස අධිකරණ අමාත්‍යවරයා අදාළ පැමිණිල්ල මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණි.

"දැන් අපි රාජපක්ෂවරු වේවා, රනිල් වේවා අවුරුදු 70 ක දූෂිතයෝ පැන්නුවා.

දූෂිතයෝ පැන්නුවාට පස්සේ. මේක තමයි ප්‍රතිවිප්ලවයේ ආරම්භය.

දැන් බල්ලා ලැගලා ඉන්නවානේ යම් තැනක. බල්ලා එලෙව්වා අපි. හැබැයි කිනිතුල්ලෝ හැම තැනම ඉන්නවා. ඒගොල්ලෝ යන්නේ නෑ. බල්ලා ගියාට ඉතින් ඒගොල්ලෝ තැනින් තැන ඉන්නවා. අනික කිනිතුල්ලා පොඩියි.පේන්නේ නැහැ.ඒ වගේ ඉන්නවා. ඉතින් ඒක නිසා අපි ඒක එකෙන් එක අධ්‍යයනය කරමින් ඒ කිණිතුල්ලන් රාජ්‍ය තන්ත්‍රයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියකුත් සිද්ධ කරන්න වෙනවා. මොකද බල්ලා පැන්නුවට කිණිතුල්ලන් එහෙම යන්නේ නැහැ" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.