’’කෝපි කාලේ’’ ආපහු ගේන්න ඕස්ට්‍රේලියාව අත දෙයි


(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහකොමසාරිස්  පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින සබඳතා ශක්තිමත් කර ගැනීමත්, දෙරට අතර කෘෂිකාර්මික සබඳතා ඉදිරියට  පවත්වාගෙන යාමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වා තිබේ.

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා මෙහිදී  ජාතික ජන බලවේගය ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කළ අතර, නව ආණ්ඩුව හා එක්ව විශ්වාසවන්තව සමීපව කටයුතු කිරීමට සූදානම් බව සඳහන් කළේය.

ඉදිරියේදීත් දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය මූල්‍යමය සහ උපදේශන සේවාවන් සැපයීමට අපේක්ෂා කරන බව මහ කොමසාරිස්වරයා මෙහිදී ප්‍රකාශ කළ අතර ලංකාවේ කෝපි වගාව වැඩිදියුණු කිරීම සඳහා විශේෂ අවධානයක් ලබා දෙන බව ද සඳහන් කළේය.

මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා කීවේ  දැනට පවතින ගොවි බිම් ගොවියන්ගේ ඉඩම් අයිතිය තහවුරු කරමින් විශාල වගා භූමි දක්වා සංවර්ධනය කළ යුතු බවයි.ඒ සඳහා ගොවියන් එකතු වී පිහිටුවා ගන්නා ලද ගොවි සමාගම් නිර්මාණය කළ යුතු බවද අමාත්‍යවරයා කීය.