(සුජිත් හේවාජුලිගේ )
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා ස්ථාවර නියෝගවලට පටහැනිව හිතුමතේ කටයුතු කරන තත්වයක් පවතින හෙයින් එලෙස කටයුතු කිරීම නැවැත්වීමට එම සභාපතිවරයා වහාම කැඳවා උපදෙස් දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යවමින් අද (30) ඉල්ලීමක් කළේය.
කෝප් කමිටු සභාපතිවරයා ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කරන බව තමා මෙන්ම සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද පසුගියදා පැවති තේරීම් කාරක සභාවේදී කතානායකවරයාට පෙන්වා දුන් බව එම ලිපියේ දැක්වේ.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 අනුව කෝප් කාරක සභාවට යම් විමර්ශනයක් කළ හැක්කේ රජයේ විගණකාධිපතිවරයාගේ විගණන විමසුම්(Audit Query) මගින් හෙළිදරව් කරන කාරණා ගැන පමණක් වුවත් වර්තමාන කෝප් කමිටු සභාපතිවරයා වෙනත් කාරණාද ස්ථාවර නියෝග වලට පටහැනිව සාකච්ඡාවට ගන්නා බව පැවසූ මන්ත්‍රීවරයා එය වැරදි ක්‍රියාවක් බවද ප්‍රකාශ කළේය.
එසේම පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට යම් ආයතනයක කටයුතු විමසන අවස්ථාවේදී ඒවායේ නිලධාරීන් විස්ස විසි පහ එකවර ගෙන්වීම ඒ ආයතනවල කටයුතු පවත්වාගෙන යෑමට විශාල ප්‍රශ්නයක් යැයි එම නිලධාරීන් තමාට පැමිණිලි කර ඇති බවත් යම් කාරණයක් විමසීම සඳහා ආයතනයකින් නිලධාරීන් පස්දෙනෙකු කැඳවීම ප්‍රමාණවත් බවත් කිරිඇල්ල මහතා කතානායකවරයාට එම ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දුන්නේය.
මේ සම්බන්ධයෙන් කතානායකවරයා හමුවී සාකච්ඡා කිරීමටද තමා බලාපොරොත්තු වන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය.

