’’උතුරේ මිනිසුන්ගේ ඉඩම් රජයට එපා’’


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් රජයට පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවා ය. 

රජයේ අරමුණ එම ඉඩම් අයිතිය ඇති ජනතාවට කඩිනමින් පවරා දීම බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 1හි  අද (23)  පැවැති උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙන ඉඩම් හිමිකම් පිළිබඳ ගැටළුව විසදීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අමතමින්  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව කීවාය.

මෙතෙක් කලක් උතුරු නැගෙනහිර ඉඩම් අයිතිය නිරවුල් කිරීම වෙනුවෙන් ගෙන ගිය පැවති රජයන්ගේ වැඩපිළිවෙල පිළිබඳ ජනතාව තුළ සැකයක් මතුව ඇති බවත්, අයිතිය හිමි ජනතාව සතුව අයිතිය ඔප්පු කිරීමට ලේඛන කිසිවක් නොමැති බවත් උතුරු නැගෙනහිර නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මෙහිදී පෙන්වා දුන් අතර ඒ සඳහා ජනතා විශ්වාසය දිනාගත්  ක්‍රමවත් වැඩපිලිවෙලක් අවශ්‍ය බවත් ඔවුන් මෙහිදී කියා සිටියේ ය.