’’අපරාධ රාජ්‍යය’’ හොඳ රටක් කරනවා


(අංජුල මහික වීරරත්න)

දේශපාලන රැකවරණය මත ගොඩනැගී තිබූ අපරාධ රාජ්‍ය වෙනුවට ලංකාව ලෝකය හමුවේ යහපත් රටක් කරන වගකීම දිවි හිමියෙන් ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ස්වභාවික සම්පතින් අනූන, සශ්‍රික රටක් වුවද පෙර පාලකයන්ගේ සැලැස්මකින් තොර ක්‍රියා කලාපයන් හේතුවෙන් රටට සංවර්ධනය අහිමි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වත්මන් රජය ක්‍රමිකව සහ ස්ථාවරව රටේ ජාතික ආර්ථිකය ගොඩනගමින් සිටින බවද සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ගල්කිරියාගම, පහමිණියාගම සිරි සමාධි මහා විහාරයේ ධාතු මන්දිරය විවෘත කිරීම හා මෙත් බෝසත් පිළිරුව නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට අද (30) පස්වරුවේ සහභාගී වෙමිනි.

කාගම සිරිනන්ද හිමිගේ ආරාධනයෙන් ජනාධිපතිවරයා මෙම අවස්ථාවට එක් වූ අතර ධාතු මන්දිරය විවෘත කිරීමෙන් අනතුරුව ඊට ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ  තමා කිසිවිටෙක තනතුරු, තනාන්තර බලා කටයුතු නොකළ අතර ජනතාවගේ දුක සැබෑ ලෙසම අත්දුටු සහ අත්විදි නායකයෙකු ලෙස සියලු පොදු ජනතාව වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැගීමට කැපවී කටයුතු කරන බවත්ය.

අනුරාධපුර අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක  පල්ලේගම හේමරතන නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නයද මැති ඇමතිවරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.