’’ මගේ වැය ශීර්ෂයේ කප්පාදු කළ හැකි හැම රුපියලක්ම කප්පාදු කළා’’


(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ  කප්පාදු කළ හැකි හැම ප්‍රමාණයක්ම තමා කප්පාදු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මහජනයාගේ බදු වල හැම රුපියලක්ම අර පරිස්සම් කර ගැනීම සඳහා එම පියවර ගෙන තිබෙන බවද ජනාධිපතිවරයා කීය.  කැබිනට් මණ්ඩලය වගේම මන්ත්‍රීවරුන් එවැනි පියවර ගෙන ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ ජාතික බදු සතියේ සමාරම්භක අවස්ථාවට කොළඹ ජනාධිපති කාර්යාලයේදී සහභාගී වෙමිනි.

එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.

රටේ බදු ගෙවීමේ මැලිකමක් තිබෙන බව විවිධ සංඛ්‍යා ලේඛන වලින් ඔප්පු වෙනවා.ඊට හේතු වෙලා තියෙන්නේ කුමක්ද? එකක් අපේ දේශපාලන අධිකාරය.දේශපාලන අධිකාරිය විසින් අප රටේ බදු මුදල් පරිහරණය කරන ලද ආකාරය පිළිබඳව බදු ගෙවන්නන්ටත් පොදු ජනයාටත් විශාල විවේචනයක් තිබෙනවා.මේ රටේ බදු ගෙවන්නන්ගෙන් එකතු කරගන්නා මුදල් දේශපාලන අධිකාරිය විසින් නිසි පරිදි අත්‍යවශ්‍ය දේ සඳහා යොදවනවා යන පණිවිඩය මුලින්ම බදු ගෙවන්නන්ට ලබා දිය යුතුයි.ඒ වගකීම මටත් අමාත්‍යංශ වලටත් දේශපාලන අධිකාරියටත් පැවරී තිබෙනවා.

ඔබ ගෙවන කිසිම බදු මුදලක රුපියලක්වත් දේශපාලන අධිකාරිය විසින් වංචා නොකරන බවට මා සහතිකයක් ලබා දෙනවා.

ජනාධිපතිවරයා ලෙස මට ජනතාවගේ බදු මුදල් වලින් යම් වරප්‍රසාදයක් ලබා දී තිබෙනවා.අමාත්‍ය මණ්ඩල තීරණ විසින් යම්  වරප්‍රසාද ලබාදී තිබෙනවා.මේ වන විට අප ඒ වරප්‍රසාද විශාල ප්‍රමාණයක් අත්හැර දමා තිබෙනවා.