ඉන්දීය සාගරය සහ ජාත්‍යන්තර මුහුද හරහා සිදුවන මත්ද්‍රව්‍ය ඇතුළු සංවිධානාත්මක ජාවාරම් මැඩපැවැත්වීම සඳහා කලාපීය රාජ්‍ය මගින් නීතිමය රාමුවක් සහිත ක‍්‍රියාකාරී සැලැස්මක් ක‍්‍රියාත්මක කිරීම අවශ්‍ය යැයි ශ්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී අඟහරුවාදා (7) උදෑසන ආරම්භ වූ ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක සැසිවාරයේදී රාජ්‍ය නායකයන් ඇතුළු ස්වභාවනීය රාජ්‍යතන්ති‍්‍රකයන් අමතමින් ප‍්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ඉන්දීය සාගර කලාපයේ වෙළෙඳ, ආර්ථික, සංචාරක සහ සැපයුම් සේවා කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට ක‍්‍රියා කරගෙන යන බවද සිරිසේන මහතා සඳහන් කළේය.
ඉන්දියානු සාගර කලාපීය රටවල සංවිධානයේ සාමාජික රටවල් 21ක නායකයන් සහ ඒ සමග සහසම්බන්ධතා පවත්වන රටවල් 7ක නායකයන්ගේ සහභාගිත්වයෙන් ජකර්තා නුවර ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් මේ මහා රාජ්‍ය නායක සමුළුව අඟහරුවාදා (7) ආරම්භ විය. පැමිණ සිටි රාජ්‍ය නායකයන් පිළිගැනීමෙන් අනතුරුව ඔවුහු සම්මන්ත‍්‍රණ ශාලාව වෙත හරසරින් කැඳවාගෙන යනු ලැබූහ.
රාජ්‍ය නායකයන් සියලූ දෙනාම සම්මන්ත‍්‍රණ ශාලාවට පැමිණීමෙන් පසුව ඉතා අලංකාරව සම්ප‍්‍රදායික ඇඳුමින් සැරැසුණු කුඩා දැරියන් පිරිසක් සහ ඉන්දුනීසියාවේ නර්තන ශිල්පීන් පිරිසක් විසින් ඔවුන් වේදිකාවට කැඳවාගෙන යනු ලැබූහ.
ඉන්දුනීසියානු ජනාධිපතිවරයාත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාත් ඇතුළු රාජ්‍ය නායකයන් කීප දෙනකුගේ කතා පැවැත්වීමෙන් අනතුරුව නායකයන් අතර සාකච්ඡා මණ්ඩපයක් පැවැත්විණි. ඉන්පසුව ඉන්දියානු සාගර කලාපීය රටවල සංවිධානයේ සම්මුතියට අත්සන් කරනු ලැබීය.
එම කටයුතු නිමවීමෙන් පසුව සම්මන්ත‍්‍රණ ශාලාවේ පසෙක පැවැති වෙළෙඳ ප‍්‍රදර්ශනය නැරඹීමටද රාජ්‍ය නායකයෝ ගියහ. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද ඇතුළු වෙළෙඳ කුටි නරඹමින් එහි සිටි පිරිස් සමග කතාබස් කළේය.
ඉන්දියානු සාගර කලාප රාජ්‍යයන්ගේ මීළඟ සභාපති තනතුර දකුණු අප‍්‍රිකාවට පැවැරිණි. 2015 සිට 2017 වර දක්වා සභාපතිත්වය දැරූ ඉන්දුනීසියාව එහි 20 වැනි සංවත්සරය ඉතා ඉහළින් පැවැත්වීට කටයුතු යොදා තිබිණි.

