’ජලජ වී වගාවට පුරන් කුඹුරු දෙන්න අල්ලස් ඉල්ලනවා’


සිරංගිකා ලොකුකරවිට, ඩි.ජි. සුගතපාල
 
පුරන් වී ඇති කුඹුරු ඉඩම් ජල ජීවී වගාව සඳහා යොදා ගැනීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගැනීම ඉතා අපහසු බවත් මෙම අවසරය ලබාදීමට ගොවිජන සේවා මධ්‍යස්ථානවල ඇතැම් නිලධාරීන් අල්ලස් පවා ඉල්ලන බවත් මේ හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ප්‍රචලිත කිරීම අපහසු වී ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාප්ති නිලධාරී එල්.එච්.කේ.කීර්තිරත්න මහතා පවසයි.
 
හෙතෙම මේ බව කියා සිටියේ අද (23) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී අදහස් දක්වමිනි.
 
එහිදී ඒ මහතා මෙසේ ද පැවසීය.
 
"පුරන් කුඹුරු විශාල වශයෙන් ගාල්ල දිස්ත්‍රික්කය පුරාම තිබෙනවා. මේවායෙන් ප්‍රයෝජනයක් අරගෙන මිරිදිය මසුන් වගාකර ආදායම් ලැබිය හැකියි. රජයෙන් මේ සඳහා ආධාර, දැනුම පුහුණුව සහ උපකරණ ලබා දෙනවා. ඒ නිසා අපි ගම් මට්ටමින් මේ ගැන ජනතාව දැනුම්වත් කළාම ඔවුන් එයට විශාල උනන්දුවක් දක්වනවා.  
 
නමුත් මේ පුරන් කුඹුරු ජලජීවී වගාව සඳහා යොදා ගැනීමට ගොවිජන සංවර්ධන කාර්යාලයෙන් අදාළ අනුමැතිය ගත යුතුයි. මෙය ඉතාම අපහසු කාර්යයක් වී තිබෙනවා. අදාළ අවසරය ලබාගැනීම දුෂ්කර වී තිබෙන නිසා ගොවීන් මිරිදිය මත්ස්‍ය වගාව සිදුකිරීමට පසුබට වනවා. මේ සඳහා සමහර ගොවිජන සේවා මධ්‍යස්ථානවල නිලධාරීන් තමන්ගෙන් අල්ලස් ඉල්ලනවා කියා ජනතාව අපිට පවසනවා. මේ ගැන යම් පියවරක් ගන්නවා නම් මිරිදිය මතස්‍ය කර්මාන්තය ගාල්ල දිස්ත්‍රික්කය තුළ වඩාත් ප්‍රචලිත කිරීමේ හැකියාව තිබෙනවා."
 
මේ පිළිබඳ අදහස් දැක්වූ ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා මෙසේ කීවේය.
 
"මේවා සාකච්ඡා කරලා විසඳාගත යුතුයි. පුරන් කුඹුරු ජලජීවී වගාවට යොදා ගැනීමට ඉල්ලුම් පත්‍ර නිතර නිතර ලැබෙනවා. අදත් ලිපි තුනක් දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට ලැබී තිබෙනවා. ගැටලුවක් තිබෙනවා නම් අපි ඒ ගැන සොයා බලා කතා කරලා විසඳාගනිමු. "