
(විනිතා එම් ගමගේ)
මැතිවරණයේ දී ජනතාවගෙන් ඡන්දය ඉල්ලා සිටියේ 19 වන සංශෝධනයේ ඇති දුර්වලතා නිවැරදි කර ගැනීමට පමණක් බවත් ඉන් ඔබ්බට ගොස් අනාගතයේ නිවැරදි කරගන්නට බැරි විකෘති අංග විකල ව්‍යවස්ථාවක් සකසන්නට ජනතාව වරම් නොදුන් බව සිහි තබා ගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධූරයට එන්නට සේදමාවත වූයේ 19 වන සංශෝධනය බව කී රාජපක්ෂ මහතා ඔහු ඒ මාවත ගල් මුල් පහර දී විනාශ කරන්නට හදන්නේ යැයි ද සඳහන් කළේය.
විසිවන සංශෝධනය සම්මත කරගන්නට පියවර ගතහොත් ජනාධිපතිවරයා එය තම ජනාධිපති තනතුර නමැති ගෙල සිඳ ගන්නා අසිපතක් බවට පත් කර ගන්නේ යැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ නුගේගොඩ විජයබා මාවතේ සිය නිවසේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා රටේ දැවෙන ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් ඇති බවත් ජීවන බර මෙන්ම කොරෝනා බිය ද ජනතාව පෙළන තත්ත්වයට පත්ව ඇති බවත් ඔහු කියා සිටියේය.
ජනතා ජීවිත සුවපත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම මෙන්ම සියලු මහජන නියෝජිතයන් එක්කරගෙන රට ගොඩනැංවීමේ වැඩපිළිවෙළක් වහා ආණ්ඩුව විසින් ඇරඹිය යුතු බව ද හෙතෙම කියා සිටියේය.
19 ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ගැටළුකාරි තත්ත්වයන් ඇතිවූ බවද එහි ප්‍රධානම ගැටළුවක් වන්නේ ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය වීම බව ද පෙන්වා දුන් මන්ත්‍රීවරයා තමන් ඊට එරෙහිව සටන් කළ බව ද කීය.
ජනාධිපතිවරයාට කැමති පරිදි ඇමැතිවරුන් නම් කිරීමට නොහැකි වීම මෙන්ම අග්‍රමාත්‍යවරයාගේ උපදෙස් ලබාගෙන ඇමැතිවරුන් නම් කිරීමට සිදුවීම ද ඉකුත් රජයේ දී ප්‍රශ්නයක් වී තිබුණේ ජනපති හා අගමැති පක්ෂ දෙකක සිටීම නිසා යැයි ඔහු සඳහන් කළේය.
නමුත් වර්තමානයේ එවැනි තත්ත්වයක් උදානොවන බවත් වත්මන් ජනාධිපතිවරයාගේ දේශපාලන ගුරුවරයා වන තම සහෝදරයා අතර එවැනි ගැටුම් ඇතිවනු නැතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයාට තනතුරු දැරීමට අවස්ථාව නොමැතිවීම ද වෙනස් කරගත යුතු බවට තමන් විශ්වාස කරන බව කී රාජපක්ෂ මහතා කොමිෂන් සභාවන්හි සාමාජිකයන්ගේ වගකීම හා ඔවුන් පත් කිරීම හා ඉවත් කිරීම ගැන ගැටළු තිබුණේ යැයි ද සඳහන් කළේය.
යෝජිත විසිවන සංශෝධනයෙන් වැඩියෙන්ම බලතල අහෝසි වන්නේ අගමැතිවරයාගේ යැයි ද අනෙක් අතින් 19 සංශෝධනයේ ඇති දුර්වලතා පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ කැමැත්ත ඇතිව සංශෝධනය කර ගත හැකි වන බව ද 2015 දී ආණ්ඩුවේ එජාප මන්ත්‍රීවරු 41 දෙනෙක් සිටිය දී 19 සංශෝධනය ඉතා පහසුවෙන් සම්මත කරගත්තේ සරත් වීරසේකර මහතා හැර අනෙක් සියලු දෙනාගේ කැමැත්ත ඇතිව බව අමතක කළ යුතු නැතැයි ද හෙතෙම කියා සිටියේය.
ජනාධිපතිවරයෙකුට යලි ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකි වාර ගණන 18 වන සංශෝධනයෙන් සීමාරහිත කර තිබිය දී එය යළි දෙවතාවක් බවට පත් කරන ලද්දේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් බවත් එසේ නොකලේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් වන්නට අවස්ථාව නොලැබෙන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ජේ ආර් ජයවර්ධන මහතා පූර්ණ විධායක බලය නමැති අසිපත අතට ගත් නමුත් එය හසුරුවන්නට පටන් ගත්තේ ජනාධිපති ප්‍රේමදාස මහතා යැයි ද එය එවක් පටන් අනෙක් සියලු ජනාධිපතිවරු විධායක බලතල අහෝසි කරන බව කියමින් බලයට ආවේ යැයි ද විධායක බලය ඉවත් කිරීම යන්න ගැන තමන් කිසි අවස්ථාවක එකඟ නොවී යැයි ද කී රාජපක්ෂ මහතා නමුත් ඒකාධිපති වියරුවකින් පෙළෙන්නෙක් වන්නට ඉඩ නොදිය යුතු යැයි ද ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් 13 වන ව්‍යවස්ථා සංශෝධනය පවතින තුරු රටට විධායක බලතල ඇති ජනාධිපතිවරයෙක් අවශ්‍ය බව ද ඔහු තවදුරටත් සඳහන් කළේය.

