’කතානායකගේ හැසීරිම අගය කළ යුතුයි ’



 
(නිමල කොඩිතුවක්කු)       

   
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ නොමනා හැසිරීම මැද කතානායක පක්ෂග‍්‍රාහී නොවී ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ ව්‍යවස්ථාවට ගරු කරමින් කාටත් ආදර්ශයක් වෙමින් කටයුතු කිරීම පිළිබඳ මහා සංඝරත්නය ලෙස ඒ ගැන අපි ආඩම්බර වන බව අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මකුරුප්පේ ශ්‍රී රතනපාල රතනජෝති හිමියෝ කොළඹදී අද (19) පැවසූහ.


පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දිගින් දිගටම මේ ආකාරයෙන් නොමනා ලෙස හැසිරීමෙන් රටත්, ජාතියත් ආගමත් සම්බුද්ධ ශාසනයත්  විනාශ වන බවද උන්වහන්සේ සඳහන් කළේය.


සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ භික්ෂු  සංසදය  රාජගිරියේ පිහිටි එම කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ  මේ බව පැවැසූහ.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මකුරුප්පේ ශ්‍රී රතනපාල රතනජෝති හිමියෝ මෙසේද කීහ.


පොදු අපේක්ෂකයා විදියට පත්වුණු මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරමින් රට ගොඩනගාවි කියලා අපි කවුරුත් බලාපොරොත්තු වුණා. අද ඒ බලාපොරොත්තු බිඳවැටෙමින් තිබෙනවා.


පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීමත්  එක්ක බලපුවහම රට කොහාට යනවද කියලා අපිටම  හිතා ගන්න බැහැ. මහින්ද රාජපක්ෂ මහතාට  ඇයි මේක සාකච්ඡා කරලා විසඳ ගන්න බැරි.  


මේ අය සාකච්ඡාව සම්මුතිය  පැත්තකට දාලා ගැටුම්කාරී විලාසයක්  අනුගමනය කරමින් තමයි මේ ගමන යන්න හදන්නේ. රටත්, ජාතියත් ආගමත් සම්බුද්ධ ශාසනයත්  නැත්තට නැති කරන්නයි මේ අය කටයුතු කරන්නේ.