‘බ්‍රිගේඩියර් සෙනග අතරට ආවා. ඔය ගොල්ලන්ට සුබ ආරංචියක් තියෙනවා සති තුනකට පැක්ටරිය වහනවා. දැන් යන්න. විනාඩි දහයක් දෙනවා කිව්වා. සෙනගට ඉවත් වෙන්න පැය භාගයක් දෙන්න කියා මම කියද්දී බැහැ විනාඩි දහයයි කියමින් සෙනග ගොඩ මැද්දට ගියා. ඉස්සරහ හිටි අය හට්එක ගලවන්න හදද්දී අඩෝ මොකද කියන්නේ කියා බ්‍රිගේඩියර් එක්කෙනෙකුගේ කොලරයෙන් අල්ලාගෙන ‘පයර්‘කියා කිව්වා.‘ යැයි වැලිවේරිය නැදුන්ගමුවේ කිංස්ලි පෙරේරා (58) මහතා ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා ඉදිරියේ පැවසීය.
කිස්ලි පෙරේරා මහතා මෙසේ ද කීවේය.
‘බ්‍රිගේඩියර් ‘පයර්‘ කිව්වාම පිටි පස්සේ හිටි හමුදා නිලධාරියා අත උස්සා සංඥාවක් දුන්නා.ඒත් එක්කම සෙබලූ ලයිට්වලටත් වයර්වලටත් වෙඩි තියන්න ගත්තා. පොලුවලින් ගහන්න ගත්තා. දිගට හරහට වෙඩි තිබ්බා. මේ නිසා හට් එක ගලවා ඉවර කරන්න බැරිවුණා. බෆල්වලින් ඇවිත් ඒවා පොඩිකරගෙන ගියා. අපි ඉස්සරහට දුවද්දී මටත් වෙඩි වැදුනා. වෙඩි තියන්න එපා කියා මම කෑගැහුවා. මේ වෙලගාවේ අදුර වැටිලා තිබුණා. වේලාව කියන්න මතක නැහැ. පසුව මා රෝහලට ගෙන ගියා. කවුද ගෙන ගියේ දන්නේ නැහැ. දින හයක් රෝහලේ හිටියා. වෙඩි තිබ්බේ හමුදාවෙන්මයි. ඒ අය අදුනන්නනම් බැහැ.‘
වැලිවේරියේ ලක්ෂ්මන් සිල්වා, රොඩ්නි ප්‍රනාන්දු යන දෙදෙනා ද අධිකරනය හමුවේ සාක්කි දුන්හ. වැලිවේවරිය දේවස්ථානයේ පියතුමන්, සහාය පියතුමන් හා කන්‍යා සොයුරිය ඉදිරියේදී සාක්කියට කැදවීමට කටයුතු කරන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා පැවසීය.
ඕනෑම කෙනෙකුට තමා ඉදිරියට පැමිණ සාක්කි දිය හැකි යැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ.ජයතිලක මහතා පැවසීය.
කොළඹ අපරාධ කොට්ඨාශය රස පරීක්ෂකවාර්තාවන් ලබා ගැනීම හා ජින්ටෙක් ආයතනයේ වාර්තා ලබා ගැනීමට අදාල සංදේශ දෙකක්ද ඉදිරිපත් කරනු ලැබීය. කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අදිකාරි නුවන් වෙදිසිංහ සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා සමග නීතිඥ උපුල් දේශප්‍රිය මහතා ඇතුල් නීතීඥ කණ්ඩායමක් පෙනී සිටියහ.
වැඩිදුර විභාගය ලබන මස 6 වැනදා පස්වරැ 1.30 දක්වා කල් තැබිණි.