‘‘සිරිලිය සවිය‘‘ ට දුන් ඩිෆෙන්ඩරය ගැන වාර්තාවක් දෙන්නැයි රස පරික්ෂකට නියෝග


(නිමන්ති රණසිංහ)

මියගිය රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියට අදාළ නඩුවේ නඩු භාණ්ඩයක් වූ ”සිරිලිය සවිය” වැඩසටහනට ලබාදී තිබූ ඩිෆෙන්ඩර් රථයේ මානව ජෛව කොටස් , වෙඩි ද්‍රව්‍ය සහ ඇඳුම් කොටස් අන්තර්ගත වී ඇත්දැයි යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා රජයේ රස පරීක්ෂකවරයා වෙත අද (19) නියෝග කළේය.

තම දෙපාර්තමේන්තු භූමියේ ගාල්කර ඇති මෙම ඩිෆෙන්ඩර් රථයේ මානව ජෛව කොටස්, වෙඩි ද්‍රව්‍ය සහ ඇඳුම් කොටස් අන්තර්ගත වී ඇත්දැයි යන්න සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා ලවා පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා නියෝගයක් ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.