‘‘සිද්ධාර්ථ ගෞතම‘‘ බුදුන් වහන්සේගේ පණිවිඩය ලොවට


දිල්ලි  ජාත්‍යන්තර සිනමා උළෙලේදී  ලෝක සිනමාවේ හොඳම චිත‍්‍රපටිය ලෙස සම්මාන දිනාගත් ශ‍්‍රී සිද්ධාර්ථ ගෞතම චිත‍්‍රපටියේ  සිදුහත් චරිතයට පන පෙවූ ඉන්දීය  නළු ගගන් මලික්  සහ චිත‍්‍රපටියේ නිෂ්පාදක ආසියා ආලෝක පදනමේ සභාපති නවීන් ගුණරත්න යන මහත්වරුන් එම සම්මාන රැගෙන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයෙන්  දිවයිනට පැමිණියහ.

දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙල සඳහා රටවල් 29 කින් නිර්මාණ  ඉදිරිපත් කර ඇති අතර ලෝක සිනමා උළෙලකදී ශ‍්‍රී ලංකාව මෙවන් ජයග‍්‍රහණයක් හිමිකරගත් ප‍්‍රථම අවස්ථාව මෙය වෙයි.

මීට අමතරව එහිදී ශ‍්‍රී සිද්ධාර්ථ ගෞතම චිත‍්‍රපටියේ නිෂ්පාදක ආසියා ආලෝක පදනමේ සභාපති නවීන් ගුණරත්න මහතාට විශේෂ උපහාර සම්මානයක්ද  පිරිනමා ඇති අතර  එය පිරිනමා ඇත්තේ  සාමය හා මනුෂ්‍යත්වය උදෙසා කළ මෙහෙවර අගයමිනි.

ශ‍්‍රී ලංකාවට ගෞරවයක් අත් කරදෙමින් දිවයිනට පැමිණි මෙම දෙදෙනාව  ශ‍්‍රාස්ත‍්‍රපති කොලොන්නාවේ නාරද හිමියන් ඇතුළු  ජාතික  චිත‍්‍රපටි සංස්ථාවේ සභාපති නීතිඥ අශෝක සේරසිංහ, සිද්ධාර්ථ ගෞතම චිත‍්‍රපටියේ අධ්‍යක්ෂක නවීන් වීරමන් යන මහත්වරුන්   විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේදී ඉතා උනුසුම් අන්දමින් පිළිගත්හ.

එහිදී මාධ්‍ය ඇමතූ  සිද්ධාර්ථ චරිතයට පන පෙවූ ඉන්දීය නළු ගගන් මලික් මහතා පැවසූවේ  
  ‘‘මේක ශ‍්‍රී ලංකාවට ආඩම්බර විය හැකි අවස්ථාවක්. ඒ වගේම ශ‍්‍රී ලංකා සිනමා ඉතිහාසයේ ලොව හොඳම චිත‍්‍රපටිය ලෙස සම්මාන ලැබූ ප‍්‍රථම අවස්ථාවක්.
මෙය මනුෂ්‍යත්වයේ ජයග‍්‍රහණයක් වගේම ජාතීන්ගේ ජයග‍්‍රහණයක්.
මෙයින් උසස් පණිවිඩයක් ලෝකයට ගිනියනවා.  ආදරය, කරුණාව  සහ  සාමය ලොවට ගෙනයමින් තැනු මෙම චිත‍්‍රපටියට ලැබුනු මෙම සම්මානය  ගැන අපි සියළු දෙනාම සතුටු වෙනවා.
මේක යම් ආරම්භයක් පමණයි. ඉදිරියේදී මුළු ලෝකයම මේ චිත‍්‍රපටිය සමග අත්වැල් බැඳ ගනීවි යැයි මම සිතනවා. මම ශ‍්‍රී ලංකාවට ගොඩක් ආදරෙයි.‘‘

 

සිද්ධාර්ථ ගෞතම් චිත‍්‍රපටියේ නිෂ්පාදක නවීන් ගුනරත්න මහතා
   ‘‘ඇත්තටම මේක චිත‍්‍රපටියකට වඩා මනුෂ්‍යත්වය ගැන ලෝකයට ලොකු පණිවඩියක් ගෙනි යන බව අපි දැක්කා. ඒ පණිවිඩයට තමයි මේ ජයග‍්‍රහණය ලැබුනේ. 
ඒ පණිවිඩය නිර්මාණය කරලා චිත‍්‍රපටිය තනපු අධ්‍යක්ෂක සමන් වීරමන් මහතා ඇතුළු ශ‍්‍රී ලංකාවේ අපේ කණ්ඩායමත් ඉන්දීය නළු නිලූයොත් එක්ක මේක ජාත්‍යන්තර මට්ටමට ගිනියන්න පුළුවන් කියා අපි විශ්වාස කරනවා.‘‘

චිත‍්‍රපටියේ අධ්‍යක්ෂක සමන් විරමන් මහතා 
‘‘රටේ ජනතාවටත් ශ‍්‍රී ලංකාවටත්, ශ‍්‍රී ලාංකීය සිනමාවටත් මෙම චිත‍්‍රපටිය ගෞරවයක් ගෙන දී තිබෙනවා. මෙය ශ‍්‍රී ලාංකීය සිනමාවට තවත් ප‍්‍රවේශයක් ලබා දුන් අවස්ථාවක් ලෙස හඳුන්වන්න පුළුවන්.
නවීන් ගුණරත්න මහත්මයා නිෂ්පාදක හැටියටත්  මේ චිත‍්‍රපටියට සම්බන්ධ වු සියළු දෙනාම මේ සම්බන්ධයෙන් ආඩම්බර විය යුතුයි.
ජාතික චිත‍්‍රපට සංස්ථාව අරම්භයේ ඉඳලම මෙයට සහයෝගය ලබා දුන්නා. එයත් මේ අවස්ථාවේ කෘතඥතා පුර්වකව සිහිපත් කරනවා.‘‘


චිත‍්‍රපටි සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ මහතා පැවසුවේ
‘‘දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේ මේ සම්මානය ලබා ගැනීම ඉතාමත් ඓතිහාසික සිද්ධියක්. 
ලෝක සිනමා උළෙලකදී කවදාවත් බෞද්ධ චිත‍්‍රපටියකට සම්මාන හිමි වෙලා නැහැ.

මේ තමයි පළමු අවස්ථාව බෞද්ධ චිත‍්‍රපටියකට සම්මාන ලැබුන.  ඓතිහාසික සිදුවීමක්.
මේක නිකන්ම බෞද්ධ චිත‍්‍රපටියක් නෙමෙයි සිද්ධාර්ත කුමාරයගේ චරිතාපදානය ඉදිරිපත් කරන චිත‍්‍රපටියක්. 
මෙතනදි ලෝක සිනමාවේ ලොකු පෙරලියක් වගේම නව නැම්මක් ඇති වී තිබෙනවා.
ඒ වගේම ශ‍්‍රී ලංකාව පිලිබඳව ජාත්‍යන්තරය කල්පනා කරන තත්වය වෙනස් කරන්නත් මේ සම්මානය ප‍්‍රබල පිටුවහලක් වේවි.
ථෙරවාදී බුදු දහම ස්ථාපිත වෙලා තියෙන ශ‍්‍රී ලංකාව මේ සිද්ධාර්ථ චරිතය පදනම් කරගෙන සැදු චිත‍්‍රපටියේ සිනාමානාත්මක ගූණයෙන් විශිෂ්ඨ තත්වයකට පත්වීම නිසා ජාත්‍යන්තර සම්මානයක් දිනලා තියෙනවා.
විශේෂයෙන්  මේ චිත‍්‍රපටිය තැනීමේදී මෙහි සම්පුර්ණ බර ඇදගෙන එය දරාගෙන හිටපු  නවීන් ගුණරත්න නිෂ්පාදකවරයාත්, සමන් වීරමන් අධ්‍යකෂ වරයාත්  ඒ  වගේම සිද්ධාර්ත චරිතයට පනදුන් ගගන් මලික් කලකරුවාත් විශාල මෙහෙයක්  මෙම චිත‍්‍රපටිය වෙනුවෙන් ඉටු කළා.
මේ සම්මානය ලැබී ඇත්තේ ලංකාවට පමණක් නොව බෞද්ධයන් හැටියට ලෝක  වාසී සියළුම බෞද්ධ ජනතාවට කරපු ගෞරවයක් හැටියට මම විශ්වාස කරනවා.''