‘‘බෞද්ධ ඉස්ලාමීය සුහදත්වය“ දර්ගා නගරයේ දී එළි දකියි


දැන් තිබෙන්නේ යහපාලනය හා සංහිදියාව ගොඩනගන්න අවශ්‍ය යුගයක් බවත් ජාතික සමගිය මෙන්ම සහජීවනය හා සබැදියාව අපේ රටට ඉතාමත් අවහ්‍ය කරන යුගය් බවත් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා දර්ගා නගරයේ දී කීවේය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ දර්ගා නගරයේ දි ‘‘බෞද්ධ ඉස්ලාමිය සුහදත්වය සහ මුස්ලිම් සමාජය“ නම් කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. දේශීය මුස්ලිම් වෙද පරපුරකින් පැවත එන මුනව්වරුල් අෆ්ලල් මහතා විසින් මේ පොත රචනා කැර තිබිණි.

හිටපු අමාත්‍යවරයකු වූ ඉමිටියාස් බාකිර් මාකර් මහතාගේ ආරාධනයකට අනුව ජනමාධ්‍ය ඇමතිවරයා මේ උත්සවයට සහභාගී වූයේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කිවේය.

මුස්ලිම් ජනතාව ඉතා දීර්ඝ කාලයක සිට සිංහල ජනතාව සමග ඉතාම සුහදව කුළුපගව ජීවත් වුනු බව අපි කවුරුත් අහලා තියෙනවා. දන්නවා. එදා ශී‍්‍ර වික‍්‍රමරාජසිංහ රජතුමාට වෙදකම් කළේ පවා මුස්ලිම්වරු කියලා ඉතිහාසය සාක්ෂි දරනවා. සමහර මුස්ලිම් ජාතිකයෝ ඉන්නවා සිංහල නම් ගම් වාසගම් පවා තිබෙන අය. ලංකා ඉතිහාසය ගැන රොබට් නොක්ස් මහත්තයා ලියපු එදා හෙළ දිව නම් කෘතියේ මුස්ලිම් සිංහල සම්බන්ධතාවය ගැනඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. 

සමහර පන්සල් සමග මුස්ලිම්වරු ඉතා සමීපව කටයුතු කරලා තියෙනවා. බොහෝ බෞද්ධ පෙරහැර වලට මුස්ලිම්වරු දායකත්වය ලබා දීලා තිබෙනවා. මෑත කාලයේ සති දෙකතුනකට උඩින් අපි දැක්කා මුස්ලිම් සම්බන්ධතාවය අපේ සෝභිත හාමුදුරුවෝ අපවත් වූ වේලාවේ ඒ ආදාහන පූජෝත්සවයේ කටයුතු වලට මුස්ලිම් ජනතාව බොහෝ උනන්දුවකින් කැපී පෙනෙන අයුරින් කටයුතු කළ බව. මෑත ඉතිහාසයේ දේශපාලන තුළත් ඒ සම්බන්ධතාවය අපි දකිනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් දේශපානඥයන්ට සිංහල උදවියගේ සහයෝගය ලැබුණු ආකාරය අපි දැක්කා. බේරුවල, බලංගොඩ, රුවන්වැල්ල, පොළොන්නරුව, කොළඹ ඒ වගේ සහයෝගය ලැබුණා.

ටී.බී ජයා, ජබීර් වේ කාදර්, බාකීර් මාකර් පියපුතු දෙපල උදාහරණ රාශියක් ජාතික සමගිය ගැන ජාතික දේශපාලනයේ අපිට මතක් වෙන මුස්ලිම්වරු හැටියට හඬ නගපු අය. එස්.ඩබ්ලිව්.ආර්.ඞී බණ්ඩාරණායක මැතිතුමා ශී‍්‍ර.ල.නි.පක්ෂයේ බිහිකරන කොට එතුමාට කිට්ටුවෙන් හිටපු උපදෙස් දීපු බදියුර්දීන් මොහොමඞ් මැතිතුමාත් ඒ වගේම එ.ජා.ප ප‍්‍රදාන තනතුරු මුස්ලිම්වරු හැමදාම හොබවලා තියෙනවා. අපේ පක්ෂයේ සභාපති තනතුරු වගේ ඒවා ඒ.සී.එස් හමීඞ් මැතිතුමාලා, දොස්තර කලීල් මැතිතුමාලා හොබවලා තිබෙනවා. අපේ ආණ්ඩු තිබෙන කොට බාකීර් මාකර් මැතිතුමා කථානායක හැටියට, මොහොමඞ් මැතිතුමා කථානායක හැටියට ඇමතිවරු හැටියට කටයුතු කල හැටි අපිට මතක් වෙනවා.

ඒ වගේම ජාතික සමගියත් බෞද්ධ ඉස්ලාම් සුහදත්වයත් වෙනුවෙන් කලාකරුවන් ලේඛකයන් සාහිත්‍යධරයන් රාශියක් කි‍්‍රයාකළ අයුරු අපිට සිහිපත් වෙනවා. මොහීදීන් බෙග් අපිට අමතක කරන්න බැරි කෙනෙක්. වෙසක් පොසොන් වැනි බෞද්ධ උත්සවවලදී මොහිදීන් බෙග්ගේ සිංදු අහන්න ලැබෙනවා. 

අපේ රට බහු ආගමික බහු වාර්ගික රටක්. කුමන ආගමකට කුමන ජාතියකට අයත් වුනත් මේ රටේ ඉපදුන හැම මනුෂ්‍යයෙකුටම මේ රට ගැන අයිතියක් මේ රට ගැන කැක්කුමක් කොයි ආගමකට අයිති වුනත් තිබෙනවා. දැන් යුද්ධය ඉවර වෙලා තිබෙනවා. ආපහු යුද්ධයක් ඇතිනොවන බව විශ්වාසයි. දැන් තිබෙන්නේ යහපාලන හා සංඳියාව ගොඩනගන්න  ඕන යුගයක් කියලා අපි විශ්වාස කරනවා. අපේ ජනතාව ජාති ආගම් වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් හැම ආගමකම තිබෙන හරය එයයි. හැම ආගමිකයෙක්ම කියන්නේ සුහදත්වය සහජීනව වර්ධනය කර ගත යුතුයි කියලයි. ජාතික සමගිය එකට ජීවත්වීම ගැන අපි අවබෝධ කර ගතයුතුයි.

2014 ජුනි මාසයේ අවාසනාවන්ත සිදුවීමකට අපිට මුහුණ දෙන්න සිදුවුනා. එවැනි දේවල් කිසිම කෙනෙකු අනුමත කරන්නේ නෑ. එවැනි දේවල් යළි ඇති නොවිය යුතුයි. සිංහල මුස්ලිම් දමිළ ජනතාව එක පවුලක් මෙන් ජීවත් විය යුතු යුගයකට අපි දැන් ඇවිත් තියෙනවා. ඒ වෙනුවෙන් රජය අවධානය යොමු වෙලා තියෙනවා. ජනාධිපතිතුමා, අප‍්‍රාමාත්‍යතුමා වර්තමාන ආණ්ඩුව ඒ සංහිදියාව පිළිබදව දැඩි ලෙස කටයුතු කරන්න සුදානම් වෙලා තියෙනවා.

හිටපු ඉම්තියාස් බාකිර් මාකර් මැතිතුමා, දඹර අමිල හිමි ඇතුළු තවත් භික්ෂූන් වහන්සේලා සහ බේරුවල ප‍්‍රදේශයේ සිංහල හා මුස්ලිම් ජනතාව සහභාගී වී සිටියහ.

(ඡායාරූප ජනමාධ්‍ය අමාත්‍යාංශය)

IMG_4440 IMG_4450