‘‘ප්‍රජාතන්ත්‍රවාදයක මුල්ගල නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම සහ මාධ්‍ය නිදහසයි‘‘


(හර්ෂණ තුෂාර සිල්වා)

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක මුල්ගල නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම සහ මාධ්‍ය නිදහස යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය.

රජය වගවීම් සහිත ආයතනයක් බවට පත් කිරීමේ කාර්යභාරය පැවැරී ඇත්තේ ජනමාධ්‍යයට බව කී සමරවීර මහතා වගකීම් සහගත නිදහස් මාධ්‍යයක් පවත්වාගෙන යෑම ඕනෑම රජයක මූලික කාර්යයක් යැයි ද කීය.

මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනයට වසර 20ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුව නිල වශයෙන් ආරම්භ කිරීම වෙනුවෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේ පැවැති උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මහතා ඊයේ (27) පස්වරුවේ ඒ බව සඳහන් කළේය.

එහිදි අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ ද කීය.

        “අපේ ආණ්ඩුවට මාධ්‍ය මර්දනයකට යෑමේ හෝ ස්වයං වාරණ පැනවීමේ අවශ්‍යතාවක් නැහැ. මීට පෙර එහෙම කාලවකවානු තිබුණා. එහෙත් කරුණු පදනම් කරගත් අපක්ෂපාතී වාර්තාකරණයක් අපි බලාපොරොත්තු වෙනවා.

එවැනි මාධ්‍ය සංස්කෘතියක් තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ බහුවිධත්වය ආරක්ෂා වෙනවා. මූලික හර පද්ධතීන් ආරක්ෂා කරමින් එය සිදුවිය යුතුයි. 

මාධ්‍ය වගකිව යුත්තේ අපට නෙවෙයි. ආණ්ඩුවට නෙවෙයි. මාධ්‍ය වගකිව යුත්තේ මහජනතාවටයි. ශ්‍රී ලංකාවේ පුරවැසියන්ටයි. ප්‍රජාතන්ත්‍රවාදයටයි. මාධ්‍ය නිදහස දිනා ගැනීම වෙනුවෙන් අපි ඉතා දුෂ්කර ගමනක් ආවා. නැවතත් අපි ඒකාධිපති රෙජීමයක පාලනයකට ගොදුරු වීමේ අවදානමක් තිබෙනවා. අපි 2015 පෙර එවැනි අත්දැකීමකට මුහුණ දුන්නා.

මේ නිසා වඩාත් උසස් වගකීම් සහගත මාධ්‍යකරණයක නිරත වීමේ වගකීමක් මෙරට ජනතාව සතුව තිබෙනවා. මාධ්‍ය නිදහස අයුතු ලෙස භාවිත නොකළ යුතුයි. මාධ්‍ය වාර්තාකරණයේදී නියමිත තත්ත්වවලට අනුව එය කළ යුතුයි”.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)