‘‘පනත ගේන්නේ ශාසනය නැති කරන්නයි‘‘ - මහින්ද රාජපක්ෂ


‘‘ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ගේන්න යන පනත සම්මත වුනොත් මේ රටේ මහණ වෙන්න කැමති කෙනෙක් හොයා ගන්න එකත් අපිට ප්‍රශ්නයක් වෙයි. මේ වන විටත් රටේ පන්සල් වැසී යාමේ තර්ජනයකට ලක් වෙලා. පන්සල් වල වැඩ සිටින භික්ෂූන් වහන්සේලාගේ හිගයක් පවතිනනවා. ආණ්ඩුව ගෙන එන්නට යන පනත මගින් බලවත් අසාධාරණයක් මේ රටේ සග පරපුරට සිදු වෙන බව පැහැදිලියි.‘ යැයි හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා   තංගල්ල, උස්වැව, ගුරුගොඩැල්ල පුරාණ රජමහා විහාරයේදී පැවසීය.

‘‘  රටේ සංඝයා වහන්සේලාට හිමි තැන දිය කර හරින්න විශාල කුමන්ත්‍රණයක් සිදු වෙමින් යනවා. ආණ්ඩුව විසින් ගෙන එනු ලබන ථෙරවාදී භික්ෂු පනත සම්මත වුනොත් චිරාත් කාලයක් තිස්සේ සංඝයා වහන්සේලා විසින් කරගෙන එනු ලැබූ සිංහල වෙදකම හා නක්ෂත්‍ර කටයුතු වලට වැට බැදෙන්න ඉඩ තියෙනවා.බෝධි පූජාවත් ගුප්ත විද්‍යා ගණයට දමා සලකන්න වුණත් පුළුවන්. බෝධි පූජාවක් තියෙන සංඝයා වහන්සේලා විනය විරෝධී වැඩක් කළා කියා නීති මගින් කටයුතු කරන්න පුළුවන්.හෙට දවසේදී මේ රටේ භික්ෂූන් වහන්සේලාට අංගුලිමාල පිරිත කියන්න බැරි තත්වයක් උදා වෙන්න පුළුවන්.

රටේ ප්‍රශ්න ඇති වුණු වෙලාවට මේ රටේ භික්ෂූන් වහන්සේලා ඉදිරියට ඇවිත් මේ රට බේරා ගත්තා .මම හිතනවා මේ  එන භික්ෂු පනත සම්බන්ධයෙන්ද මේ රටේ ගරුතර භික්ෂූන් වහන්සේලා මැදිහත් වෙයි කියා.භික්ෂූන් වහන්සේලා ගේ සිවුරු ගලවන මේ පනත පිළිබදව මහානායක හිමිවරු න්මීට වඩා අවධානය යොමු කළ යුතු යැයි මම විශ්වාස කරනවා. මේ වගේ පනත් එන්නේ යම් යම් අයගේ බලපෑම් මත බවයි මම විශ්වාස කරන්නනේ .මේ රටේ නිදහස හා භෞමික අඛන්ඩතාවයට හානි කරන කිසිවක් පාලකයන් විසින් නොකළ යුතුයි. විදේශීය බලපෑම් වලට යටත් නොවී මේ රටේ ස්වෛරී භාවය ආරක්ෂා කිරීම රටේ පාලකයන් ගේ වගකීමක් .