‘‘දුරකථනය නාදවීම උසාවියට අපහාසයක් නොවේ‘‘


අධිකරණයේ දී දුරකථනයක් නාද වීම හිතාමතා නොවන දෙයක් නිසා එය අධිකරණයට අපහාස කිරීමක් සේ සැළකිය නොහැකි බව අලුත්කඩේ මහාධිකරණ නීතිඥයන්ගේ සංගමය කියයි. ඔවුන් එසේ කියනුයේ හිටපු සොලිසිටර් ජනරාල් හා ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ ජංගම දුරකථනය ගාලු මහාධිකරණයේ දී නාද වී යැයි ඔහුට නඩුවක් ගොනු කර ඇති සිද්ධිය ගැන සඳහන් කරමිනි.

එම නීතිඥ සංගමයේ ලේකම් මොහාන් සෙල්ලප්පෙරුම පැවසුවේ අධිකරණයක දී කිසිවකුගේ දුරකථනය නාදවීම ඕනෑකමින් කරන ක්‍රියාවක් නොවන නිසා ඒ කිසිවකුටත් එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු පැවරිය නොහැකි බවයි.

මෙම සිද්ධිය විශේෂ කරුණක් සේ සළකන බවත් ඒ වෙනුවෙන් සියළු ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු කියයි. වෙනත් ආයතනවලින් සුදුසු විසඳුමක් නොලැබුණහොත් අලුත්කඩේ මහාධිකරණ නීතිඥවරු සියළු දෙනාම අර්සකුලරත්න මහතාගේ නඩුවට පෙනී සිටින බවත් ඔහු කියයි.

කොළඹ මහේස්ත්‍රාත් උසාවි නීතිඥ සංගමය ද එවැනිම ප්‍රකාශයක් කළේය.