‘‘දැනෙන වෙනසක් අප්‍රේල්වල කරනවා‘‘


(ඩයනා උදයංගනී)

අප්‍රේල් මාසයේ සිදුවන ඉන්ධන මිල සංශෝධනයේ දී ජනතාවට සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ඒ අනුව රුපියල ශක්තිමත්වීමේ වාසිය ඊ ළඟ මිල සංශෝධනයේ දී ජනතාවට ලබාදෙන බව ඇමතිවරයා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

පළාත් පාලන මැතිවරණ අපේක්‍ෂකයන්ගේ ඉන්ධන කෝටාව වැඩි කරන ලෙස ඉල්ලීම් ලැබී ඇතැයි කී ඇමතිවරයා දැනට යතුරුපැදියක් සඳහා සතියකට ලබාදෙන ලීටර 5ක ඉන්ධන කෝටාව ඔවුන් දිනකට ඉල්ලා ඇතැයි ද කීවේය.

අපේක්‍ෂකයන් 80,000ටම එම කෝටාව ඉහළ නැංවීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන ගෙන්වීම සඳහා අවශ්‍ය මුදල් සොයාගෙන ඒවා ගෙන්වීමට මාස 6ක් පමණ අවශ්‍ය බවත්, එව මැතිවරණ කොමිසමට ද දැනුම් දී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

විදුලිබිල සහ ඉන්ධන මිල අඩු කිරීමට නම් ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍ය බව හෙතෙම පැවසීය.