අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විවිධ චෝදනා පරීක්ෂා කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්, නාවික හමුදාපතිවරුන් උසාවියට කැඳවීම පිළිබඳ ව තම අප‍්‍රසාදය පළ කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (12) ‘සත්විරු උරුමය‘ ආරක්ෂක අංශවලට නිවාස හා ඉඩම් හිමිකම් පිරිනැමීමේ උත්සවයට කොළඹ පදනම් ආයතනයේ දී එක්වෙමින් පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යන ආයතන දේශපාලන න්‍යාය පත‍්‍රවලට අනුව කටයුතු කරන්නේ නම් එම ආයතනවලට එරෙහි ව ක‍්‍රියාමාර්ග ගන්නා බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
අග‍්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය සමඟ අඟහරුවාදා (11) පස්වරුවේ කළ සාකච්ඡාවක දී ද තමා මේ බව ප‍්‍රකාශ කළ බව ජනාධිපතිවරයා කී ය.
ස්වාධීන කොමිෂන් සභා ඇතුළු වංචා හා දූෂණ චෝදනා පිළිබඳ ව පරීක්ෂණ කරන ආයතන තම පරීක්ෂණ පිළිබ`ද ව ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා දැනුවත් කළ යුතු යැයි ද ජනාධිපතිවරයා පැවසීය.
තමාට කිසිවකු සිරගත කිරීමට වුවමනාවක් නොමැති බව ද ජනපති කීය.
හිටපු ජනාධිපතිවරයා බලය තිබිය දී එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා හා ඉන්දීය විදේශ අමාත්‍යවරයාට දුන් පොරොන්දු ගැන බලය අහිමි වූ පසු ප‍්‍රකාශ නොකරන බව ද ජනාධිපතිවරයා කී ය.
රටේ ප‍්‍රශ්නවලට මුහුණ දීමට තිබූ නොහැකියාව හේතුවෙන් හදිසි ජනාධිපතිවරණයකට ගිය හිටපු ජනපති වර්තමාන ආණ්ඩුව රටේ ප‍්‍රශ්න විසඳීමට කටයුතු කරමින් සිටින විට විවිධ කතන්දර කියමින් සිටින බව ද ජනපති පැවසීය.