‘හමුදා කුමන්ත්‍රණ බෑ‘


‘හමුදාව හෝ එහි කොටසක් හෝ ලවා මේ රටේ පාලනය ආයුද බලයෙන් අත්පත් කරගන්න උත්සාහ කරනවානම් අපි ඒ වෙනුවෙන් පක්ෂ පාට භේදයක් නැතිව පාරට බැහැලා තුර්කියේ කළා වගේ ඒකාධිපතිත්වයට රට රැගෙන යාමට උත්සාහ කරනවානම් ඒ බලවේග පරාජය කරනවා‘ යැයි විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති නියෝජ්‍ය ඇමැති අජිත්.පී.පෙරේරා අද (21) බණ්ඩාරගමදී පැවසීය.

‘පසුගියදා පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාගෙන් අහන්න ලැබුණා අනාගතයේ හමුදා කුමන්ත්‍රණයක් මගින් මේ රටේ පාලනය අත්පත් කරගෙන හමුදාව ලවා අනාගතයේ රට පාලනය කරන්න එතුමාගේ බලාපොරොත්තුව හා ප්‍රාර්ථනය කියලා. මේ රට අනාගතයේ මොන පක්ෂය පාලනය කළත් රට පාලනය කරන්නේ ජනතාවගෙන් තෝරා ගන්නා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා මාර්ග හරහා පත්වූ රජයක් බව මා නොබියව කියනවා‘ යැයි ද ඔහු කීය.