‘හතර දෙනාගේ ඇප හෝමාගම උසාවියට ලැබී නෑ‘


ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන්වීම පිළිබඳ නඩු විභාගයේ දී අවිස්සාවේල්ල උසාවිය මගින් සඳුදා (19) ඇප ලබාදුන් විත්තිකරුවන් සිව්දෙනාගේ ඇප නියෝග මෙතෙක් හෝමාගම උසාවියට ලැබී නැති බව කියමින් ඔවුන් යළි රිමාන්ඩ් භාරයේ තැබීමට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (20) නියෝග කළේය.

ඒ අනුව යළි ලබන 22 වැනිදා  ඔවුන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඔවුන් සිව්දෙනාට අමතරව නඩුවට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි තවත් සිව් දෙනකු අද උසාවියට ගෙන එනු ලැබූහ.

ලුතිනන් චාමින්ද කුමාර අබේරත්න, මාණ්ඩලික සැරයන් සෙනෙවිරත්න මුදියන්සේලාගේ කණිෂ්ක ගුණරත්න, මාණ්ඩලික සැරයන් අයියසාමි බාලසුබ්‍රමනියම් නොහොත් රවී සහ සැරයන් දංගහගමරාළලාගේ තරංග ප්‍රසාද් ගමගේ යන විත්තිකරුවන් ඇප මත මුදා හරින ලෙස අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අමල් තිලකරත්න මහතා සඳුදා නියෝග කළේය.