‘සෝභිත හිමිගේ මෙහෙවර උදාරයි‘ - මහින්ද


විවෘත ආර්ථිකයද, එකල පැවැති දේශපාලන මර්දනකාරී ස්වභාවය විසින් බිහිකළ සමාජ සංස්කෘතික පරිහානියට එරෙහිව මුලින්ම සටන් කළ පිරිස අතර මාදුළුවාවේ සෝභිත හිමියෝ සිටි බව ඒ හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

උන්වහන්සේගේ උදාර සමාජ මෙහෙවරද, ධෛර්යවන්ත නොසැලෙන නායකත්වයද විචිත්‍රවූ ධර්මදේශන කුසලතාවයද හේතුවෙන් සෝභිත හිමියන් ලක්වාසී ජනතාව අතර මහත් ගෞරවයට පාත්‍රවූ බව ද රාජපක්ෂ මහතාගේ පණිවිඩයේ සඳහන්ය.

‘‘මහාචාර්ය සරච්චන්ද්‍රයන් සමග මැර ප්‍රහාරයට ගොදුරු වීමද, ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව පිටකොටුවේ කළ සත්‍යග්‍රහයේදී ප්‍රහාරයට ලක්වීමද, තමන් වැඩ විසු නාග විහාරයට ප්‍රහාර එල්ල වීමද, නාරාහේන්පිට අභයාරාමයේදී ප්‍රහාරයට ලක්වීමද නාහිමියන්ගේ වේදනාත්මක අත්දැකීම්ය. එදා රටේ පැවතී ප්‍රජාතන්ත්‍ර විරෝධී බවට  එරෙහිව සටන් කළ අය මුහුණ දුන් ඛේදවාචකයට මාදුළුවාවේ සෝභිත හිමිපාණෝද නිදසුනකි. උන්වහන්සේ නිරන්තර ප්‍රකාශ කළ පරිදි ත්‍රස්තවාදී යුද්ධය හිගන්නාගේ තුවාලයක් කරගෙන දශක ගණනාවක් ජාතිය විනාශකර යන ගමනට තිත තැබූ මානුෂික මෙහෙවරේදී මාදුළුවාවේ සෝභිත හිමියෝ දැක්වූ සහය මම ඉමහත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි.

උන්වහන්සේ මා හඳුනාගත් විද්‍යෝදය ශිෂ්‍ය අවදියේ සිට අවසාන මොහොතේ රෝගාතුරව කනස්සල්ලෙන් සිටින විට බැහැදැකීමට ගිය මොහොතේත් එක හා සමාන මිත්‍රත්වයකින් ද ගෞරවයකින්ද කටයුතු කළ ආකාරය මම ගෞරවයෙන් සිහිපත් කරමි. මාදුළුවාවේ සෝභිත හිමිපාණන්වහන්සේ ලෝකාර්ථ චර්යාවේ යෙදෙමින් විචිත්‍ර ධර්මදේශනා කර සත් වග පහන් කරමින්, ජාතියේ යහපත වෙනුවෙන් කළ මහා මෙහෙවරට මාගේ ගෞරවයද පුද කරමි.‘‘