‘සෙබළුන් දුවන අයට වෙඩි තිබ්බා‘


‘පාරඉඩදෙන්න කියා බි‍්‍රගේඩියර් කිව්වා. අපි පාරෙන් යන්නම් විනාඩි දහයක් දෙන්න කියා එක්කෙනෙක් කියද්දී  දෙන්න බැහැ කියා ගහපියව් කිව්වා. ඒ සමගම හමුදා පිරිස ගස්වලින් කඩාගෙන තිබූ පොල්වලින් පහරදුන්නා. අපි දුවද්දී වෙඩි තිබ්බා‘ යැයි නැදුන්ගමුව ඌරැවල ජූඩ් නිශාන්ත පෙරේරා (45) මහතා ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා ඉදිරියේ අද පැවසීය.

වැලිවේරියේදී වෙඩි වැදී පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මියයාම  සම්බන්ධයෙන් පැවැති මහේස්ත්‍රාත් පරීක්ෂණය අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී දෙවැනි දිනටත් පැවැත්විණි.

 මියගිය නිලන්ත පුෂ්පකුමාරගේ බිරිය යාපා මුදියංසේලාගේ නිසංසලා ප්‍රශාදිනී සහ සරණගල උඩ ගෙදර ධර්මසේන කොළඹ අපරාධ කොට්ඨාසයේ මෙහෙයවීම යටතේ අධිකරණයේ සාක්කි ලබා දුන්හ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය නියෝජනය කරමින් උපුල් දේශප්‍රිය මහතා ඇතුලු නීතීඥ කණ්ඩායමක් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි අතර ඔවුන්ගේ මෙහෙයවීම යටතේ ජනප්‍රිය චින්තක, ජූඩ් නිෂාන්ත පෙරේරා, ප්‍රේමලාල් පෙරේරා සහ සුනිල් ජෝසප් යන සිව් දෙනා සාක්කි ලබා දුන්හ.

යුද හමුදාව භවිත කළ ගනි අවි 98ක් සහ අපරාධ ස්ථානයෙන් ලබා ගත් සාක්කි කිහිපයක් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අද අධිකරණයට ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ දී   පරීක්ෂා කරමින් එම නඩු භාණ්ඩ භාරගත්තේය.

ඒවා හෙට වන තුරු අධිකරණයේ   තබන ලෙස පැවසූ මහේස්ත්‍රාත්වරයා ඒ සඳහා විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙස ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂකට නියෝග කළේය.

අධිකරණයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු වෙද්දී යුද හමුදා කදවුරුවලට සිවිල් වැසියන් ගෙන්වා සාක්කි විනාශ කිරීමේ කටයුත්තක යුද හමුදාව නිරත වන බැවින් එලෙස නොකරන ලෙස නියෝගයක් ලබා දෙන්නැයි නීතීඥ සුනිල් දේශප්‍රිය මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මහේස්ත්‍රාත්වරයා පැවසුවේ දිවුරුම් පෙත්සම් මගින් ඒ බව ඉදිරිපත් කළ හොත් එය සලකා බැලිය හැකි බවයි.

 නැදුන්ගමුව ඌරැවල ජූඩ් නිශාන්ත පෙරේරා මහතා මෙසේද පැවසීය.

‘බැලූම්මහරදී උද්ඝෝෂණයට හමුදාවෙන් ගහලා කියා ආරංචිවුනා. හවස පහමාරට විතර හමුදාවේ සීයක් විතර අප හිටිය තැනටත්ආවා. බ‍්‍රිගේඩියර් විස්තරයක් කිව්වා. ඒ වෙලාවෙදී හමුදා පිරිසක් මාධ්‍යවේදියෙක් ඇදගෙන ගියා.  ඒ සමගම ජනතාව කලබලවුනා.  හමුදා බ්‍රිගේඩියර්වරයා ගහපියව් කීවාට පසු අපි දිව්වා. මම හිටියේ බ්‍රි‍ගේඩ්යර් වරයා ළගමයි. හමුදාව ලයිට් වයර්යලට වෙඩි තිබ්බා. මම ඇඹරලුව පාරේ කොන්ක්‍රිට් ස්ලැබ් එකක හැංගිලා හිටියා. ටික වේලාවකින් ශබ්දයක් නැතිව ගියා . මම බැහැලා ගෙදර යන්න ගියා. ටික දුරක් යනකොට මගේ ඉනේ වම් පැත්තට වෙඩිල්ලක් වැදුනා. එතකොට කලුවර වැටී තිබුනා. හමුදාව වෙඩි තියන නිසා රාත්‍රියේ රෝහලකටත් යන්න බැරිවුනා. පහුවදා රොහලට ගියා.‘

වැලිවේරිය බියගම පාරේ ප්‍රේමලාල් පෙරේරා මෙසේ කීය.

‘මම පළවැනිදා පල්ලිය ඉස්සරහ පාරේ ගල් ඇල්ලුවා. උද්ඝෝෂණයක් තියෙන බව දැන ගෙන හිටියා. ලොකු පොඩි විශාල පිරිසක් එයට එක්වුනා. වැඩ අවසන් කර ගෙදර යද්දී හන්දියේ සෙනග ගොඩක් හිටියා. හමුදාව ඉදිරියෙන් හිටියා. ඒ අය වෙඩි තියද්දී මා වටේ හිටපු අය ගල්මුල් ප්‍රහාර එල්ල කලා. සියලු දෙනා පල්ලියට දිවවා. හමුදාවේ 15 විතර පල්ලියට කඩාගෙන වැදුනා. මම සුරැවම යට හිටියේ. හමුදා පිරිස තුවක්කු බටෙන් මට ගැහුවා. මගේදත් තුනක් කැඩුනා.  පසුව මගේ අත්පාවලටත් ගැහුවා.  මගේ කොලරයෙන් අල්ලා උස්සාගෙන පොලිසියට අරගෙන ආවා. පොලිසියට අවිත් මගේ යට ඇදුම හැර සෙසු සියල්ල ගලවා හමුදා පිරිස මාව පොලිස් කූඩුවට දැම්මා.

මගේ ඇග පුරාම ලේ ගලමින් තිබුනා. කූඩුවේ අපි හය දෙනෙක් හිටියා. එලිවෙනකම් අපිට වතුර ටිකක්වත් ලැබුනේ නැහැ.  පහුවදා දවල් රනිල් මහත්තයා ඇවිත් අපි ඇදුම් නැතිව තුවාල සහිතව ඉන්නවා දැක පොලිසියට දොස් කිව්වා. පසුව පල්ලියේ ෆාදර් ඇවිත් අපිව එළියට ගත්තා. ඉන් පසුව රාගම රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ගත්තා. මට පහර දුන් හමුදා නිලධාරීන් අදුනන්න බැහැ. පොලිසියේ අයට කියා කූඩුව ඇරලා මාව කූඩුවට දැම්මේ හමුදාව් වේ අයයි. අපට වෙච්චදේට සාධාරණයක් ඉටු කර දෙන්න. ‘