දකුණු වෙරළ තීරයේ සිට කිලෝමීටර 65ක් දුරින් වූ මුහුදු තීරයට අභ්‍යවකාශ වස්තුවක් පතිත වීමට නියමිත බැවින් සිකුරාදා (13) පෙරවරු 10.50 සිට 12.50 තෙක් මුහුදු තීරයේ ධීවර හා නාවුක කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාව පිළිබඳ උපදේශක ආචාර්ය චන්දන ජයරත්න මහතා කියයි.
දෙවුන්දර සිට ගිනිකොන දෙසට කිලෝමීටර් 65ක වපසරියකින් යුත් මුහුදු ප‍්‍රදේශය නාවික හා ගුවන් තහනම් කලාපයක් ලෙස ද ප‍්‍රකාශයට පත් කර තිබේ.
එම කාලසීමාව ඇතුළත මෙම අභ්‍යාවකාශ වස්තුව මුහුදට පතිත වනු ඇතැයි විශ්වාස කෙරෙන අතර එම වේලාව මෙතෙක් නිශ්චිතව ගණනය කර නොමැති බව කී ආචාර්යවරයා මේ පිළිබඳ අධ්‍යයන කටයුතුවල නිරතව සිටින යුරෝපා විද්‍යාඥයින් බ්‍රහස්පතින්දා (12) එම වේලාව නිශ්චිතවම ප‍්‍රකාශයට පත් කරනු ඇතැයි ද ඔහු පවසයි.
මුහුදු තීරයට පතිතවීමට පෙර ඉහළ අහසේදී එම අභ්‍යාවකාශ වස්තුවේ පිපිරීමක් සිදුවුවහොත් එහි කොටස් ගොඩබිමට වැටීමට ද ඉඩ ඇතැයි කී චන්දන ජයරත්න මහතා එම කොටස් ඇල්ලීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
අඩි හතක් පමණ දිගින් යුතු ඩබ්.ටී.1190 එෆ් වශයෙන් නම් කර ඇති මෙම වස්තුව 1960 දශකයේ දී චන්ද්‍ර මෙහෙයුම් යටතේ උඩුගුවනට යැවූ රොකට්ටුවක කොටසක් හෝ ඇපලෝ වැඩසටහන යටතේ යවන ලද යානයක කොටසක් විය හැකි යැයි විද්‍යාඥයෝ සැක කරන බව ද ජයරත්න මහතා සඳහන් කළේය.

