‘සිංහල දෙමළ තුවාලය ලොකුයි‘


සිංහල දෙමළ ජනතාව අතර විශ්වාසය පළුදුවීමේ ලොකු හිඩැසක් තවමත් පවතින බවත් පොදු අනාගතයක් ගොඩනැගීම සඳහා අතීතයේ ගැටලු විසඳා ගැනීමට හැඩ ගැසීම ශ්‍රී ලාංකිකයන් විසින්ම කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ මහ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කියයි.

පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමෙන් පසු ලබාගත් අත්දැකීම් අනුව ඔහු මෙම නිවේදනය නිකුත් කැරිණි. පසුගිය දින හතර තුළ ශ්‍රී ලංකාවේදී සාධනීය, ඵලදායී සාකච්ඡා පැවැත්වීමට හැකිවූ බවත් ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද හා සාමාකාමී පරිවර්තනය ජාත්‍යන්තරව අවධානයට ලක්වූ බවත් තමා ශ්‍රී ලංකාවේ ගත කළ කෙටි කාලය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමැතිවරුන්ද දේශපාලන නියෝජිතයන්ද හමුවී අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාව ලැබුණු බවත් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා කියයි.

ශ්‍රී ලාංකිකයන් ගැටුම් සමයේදී පීඩාවට පත්වූ බව එක්සත් ජාතීන් පිළිගන්නා බවත් කොමිසන් ගණනාවක් ක්‍රියාත්මක වුවද දුක් ගැනවිලි හා නොවිසඳී ඇති ගැටලු රාශියක් පවතින බවත් ඔහු පෙන්වාදෙයි. කෙටි කාලීනව ඉඩම්, රඳවා ගැනීම් සහ සිවිල් ජනතාව වෙසෙන පෙදෙස්වල හමුදාව පවත්වා ගැනීම වැනි ප්‍රශ්න විසඳීමට පියවර ගන්නා මෙන් ශ්‍රී ලංකා රජයේ නායකයන්ගෙන් ඉල්ලා සිටි බවද ඔහු එම නිවේදනයේ සඳහන් කරයි.

අවසන් වශයෙන් ෆෙල්ට්මන් මහතා එක්සත් ජාතීන් පිහිටුවීමේ 70 වැනි සංවත්සරයේදී හා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබාගැනීමේ 60 වැනි සංවත්සර සැමරුමේදී අලුත්වූ සම්බන්ධතාවයක අපේක්ෂාවට ආශිර්වාද කරයි.