‘සාමය සංහිදියාව ස්ථාපිත කිරීමේ කාර්යයේ දී ශ්‍රී ලංකාව ලෝකයටම ආදර්ශයක්‘


(අංජුල මහික වීරරත්න)

සාමය හා සංහිදියාව ස්ථාපිත කරලීමේ අසීරු කාර්යභාරය සාර්ථක කර ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකාව මුළු මහත් ලෝකයටම ආදර්ශයක් සපයමින් සිටින බව නෝර්වේ විදේශ ඇමතිනී ඉනෙ එරික්සන් එස්ඔරෙයිදේ මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ අවධාරණය කළාය.

ඔස්ලෝ නුවර රාජ්‍ය අමුත්තන්ගේ නිල නිවස්නයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ලාංකේය දූත පිරිස හමුවූ අවස්ථාවේ එස්ඔරෙයිදේ මහත්මිය වැඩිදුරටත් පැවසූයේ ශ්‍රී ලංකාවේ සාමය හා සංහිදියා වැඩ පිළිවෙල සඳහා නෝර්වේ රාජ්‍ය පූර්ණ සහය ලබා දෙන බවයි.

ශ්‍රී ලංකාව සහ නෝර්වේ රාජ්‍ය අතර ආර්ථික හා දේශපාලන සබඳතා ශක්තිමත් කරලීමේ සැලසුම් හා උපාය මාර්ග පිළිබඳව ද, මෙතෙක් දෙරට අතර පැවති ආධාර දීම හා ආධාර ලබාදීමේ සංකල්පයෙන් ඔබ්බට මේ සබඳතාවන් ගෙන යා යුතු බව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රයත්නය පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කෙරිණි. සාගර ආශ්‍රිත රටවල් අයත් වන විවිධ සංවිධානය අතර සහයෝගයක් හා ඒකමිතියක් ඇති කරලීමේ අවශ්‍යතාව පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැණිනි.

ධීවර සම්පත් සංවර්ධනය හා ධීවර කර්මාන්තයේ උන්නතිය සඳහා නව තාක්‍ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් දෙරටට ගත හැකි සාමූහික ක්‍රියා මාර්ග පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජිත පොලිස් හා අපරාධ යුක්තිය පිළිබඳ විශ්ව විද්‍යාලය සඳහා තාක්‍ෂණික සහයෝගය ලබා දීමට ද නෝර්වේ රාජ්‍යය එකඟ විය.