නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාගේ නිවසට ගොස් රතුපස්වල ජල ගැටළුව ගැන සාකච්ඡා කළ බව තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ගම්පොළ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසූහ.
ප්‍රශ්නය - ‘අපේ හාමුරුදුවන් කොළඹ තරු පන්තියේ හෝටලයක හිටයා නේද?‘
සිරිධම්ම හිමි - ‘ඇයි මට එහේ යන්න බැරිද? මම යන එන තැන් කතා කරලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. මා සුළුදිය දමන තැන් සොයන්නේ මොකටද? මේ ප්‍රශ්නය ගැන කතා කරමු.‘
ප්‍රශ්නය - ‘මාධ්‍ය සාකච්ඡාවෙදි හාමුදුරුවො කිව්වා පොදුරාජ්‍ය මණ්ඩල නායකයන් ලංකාවට එනවා. ඒ අයට හොද දේ පෙන්වන්න ඕනෑ කියා? එසේ නම් ඇයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවී පිල්ලේ පැමිණි අවස්ථාවේ සංදේශයක් බාර දුන්නේ? ඉන් ඉන් කියැවෙන්නේ ලංකා රජය මානව හිමිකම් කඩන බව නොවේද?‘
සිරිධම්ම හිමි - ‘ඒ වෙලාවේ මාත් එක්ක දේශපාලනේ කවුරුත් කතා කරන්න ආවේ නෑ. මට කාගෙවත් පස්සේ ගිහින් දෙවැනි වෙන්න ඕන නෑ. ඒකයි නවී පිල්ලේට සංදේශයක් බාර දුන්නේ. අනික ඒක දුන්නේ ලංකාවේ ප්‍රතිරූපය ගැන වැරදි වැටහීමක් ඇති කරන්න නොවේ.
ප්‍රශ්නය - ‘ගිවිසුම අත්සන් කරන තැන ගම්පහ පොලිස් අධිකාරී සිටියා කියා ඔබවහන්සේ කිව්වාද?‘
සිරිධම්ම හිමි - ‘අත්සන් කරන තැන හිටයේ නැති වුණාට එතුමාගේ අධීක්ෂණයෙන් තමයි අත්සන් කළේ.‘
ප්‍රශ්නය - ‘පොලිස් අධිකාරී කාර්යාලයයේ පැය පහක පමණ සාකච්ඡාවෙන් පස්සේ කෙළින්ම ගියේ සණස ශාලාවේ මාධ්‍ය සාකච්ඡාවකට. එතැනදි මාධ්‍යයට පත්‍රිකාවක් බෙදුවා. නමුත් ඒ පත්‍රිකා මුද්‍රණය කරන්න තරම් වෙලාවක් තිබුණේ නෑ. මෙය ඔබහන්සේගේ දැනුම්වත් කමින් සැලසුම් සහගතව කළින් මුද්‍රණය කළ බවයි වැලිවේරියේ ජනතාව දැන් කියන්නේ?
සිරිධම්ම හිමි - ‘මා දන්නේ නෑ.‘
ප්‍රශ්නය - ‘සරණ ගුණවනර්ධන නියෝජ්‍ය ඇමැතිගේ නිවසට ගියේ ඇයි?‘
සිරිධම්ම හිමි - ‘ඔව් මං ගියා තමයි. ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්න ගියේ.‘
ප්‍රශ්නය - ‘ප්‍රාදේශීය සභාවේ පුද්ගලයකුගේ වාහනයක නේද ගියේ?‘
සිරිධම්ම හිමි - ‘.... ප්‍රාදේශීය සභාවේ වාහනයක නෙමේ වෑන් රියක. හැබැයි එතැන ප්‍රාදේශීය සභාවේ සභාපතිත් හිටියා.‘
ප්‍රශ්නය - ‘එක දවසක් හරි රතුපස්වල කර්මාන්ත ශාලාව අරින්න දෙන්නේ නෑ. මළ කඳ උඩින් තමයි අරින්න වෙන්නේ කියා නේද කලින් කිව්වේ?‘
සිරිධම්ම හිමි - ‘කලින් එහෙම කිව්වා තමයි. නමුත් දැන් විසදුමකට ඇවිත් තියෙනවා.‘
ප්‍රශ්නය - ‘ආයේ රතුපස්වල වඩින්නේ කවදාද?
සිරිධම්ම හිමි - ‘එන්නේ කවදාද කියා දැන්ම කියන්න අමාරුයි. ඒත් අවශ්‍ය වෙලාවට එනවා.‘
ප්‍රශ්නය - ‘ඔබවහන්සේගේ කීර්ති නාමය බරපතල ලෙස පළුදු කරමින් හාමුදුරුවො රුපියල් ලක්ෂ පනහක් හෝ කෝටියක් ගත් බවට පැතිර යන කතා ඔබවහන්සේට ආරංචිද?‘
සිරිධම්ම හිමි - ‘එහෙම කියන අයගේ කටවල්වලට පණුවො ගහන්න ඕනෑ.‘