‘සර්පයා‘ගේ ෆේස්බුක් ගිණුමට ඇතුළු වුණ හැටි සොයන්න නියෝග


(මනෝප‍්‍රිය ගුණසේකර)

ද්විත්ව ඝාතනයක් සම්බන්ධයෙන් මරණ දඩුවම නියමවී සිටින සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙකු වන හසිත සම්පත් හෙවත් සර්පයා නමැත්තාගේ මුහුණු පොතේ ගිණුමට ඇතුළු වීමට අදාළ වාර්තා ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් ලබාගෙන ඒ සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණ වාර්තා වල ප‍්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය රහස් පොලිසියට නියම කළාය.

ද්විත්ව ඝාතනයක් සම්බන්ධයෙන් මරණ දඩුවම නියමවී බන්ධනාගාරයේ රඳවා සිටින සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙකු වන හසිත සම්පත් හෙවත් සර්පයා නමැත්තාට එරෙහිව විභාග කෙරෙන ද්විත්ව ඝාතන නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකරුගේ මුහුණු පොත යාවත්කාලීන වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දර්ශන කුරුප්පු මහතා කළ දැනුම් දීමක් සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරිය එලෙස නියම කළාය.