‘සරසවි සිසුනට හමුදා පුහුණුව එපා‘


අධ්‍යාපන හමුදාකරණය කිරීම සහ විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ සිසුනට හමුදා කඳවුරුවල ලබා දෙන පුහුණුව නතර කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ලංකා ගුරු සංගමය කියයි.

විශ්ව විද්‍යාල සිසුන්ට නායකත්ව පුහුණුව නමින් හමුදා පුහුණුවක් ලබාදෙමින් අධ්‍යාපන පද්ධතිය හමුදාකරණය කිරීම ගැන ගුරු සංගම් හා විශ්ව විද්‍යාල ප්‍රජාව දිගින් දිගටම දැඩි විරෝධය පළ කළ බවත්, විදුහල්පතිවරුන්ට ලබා දුන් පුහුණුවේදී එක් විදුහල්පතිවරයෙකුගේ ජීවිතය ද අහිමි වූ බවත්, මෙම   හමුදාකරණයේ නවතම බිල්ල බවට පත්ව ඇත්තේ ගන්නෝරුව හමුදා කඳවුරේ පුහුණුව ලබමින් සිටි නොච්චියාගම විද්‍යා දර්ශි විද්‍යාලයේ වානිජ අංශයෙන් උසස් පෙළ සමත්ව යාපනය විශ්ව විද්‍යාලයට තේරී පත්ව සිටි ළහිරු සඳරුවන් ජයරත්න සිසුවා බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

‘පාසල් පද්ධතියේ විදුහල්පතිවරුන්ට කර්නල් තනතුරු, කැප්ටන් තනතුරු සති දෙක තුනක කෙටි පුහුණු කිරීම් මගින් ලබා දෙමින් පාසල් පද්ධතිය ද හමුදාකරණයට යටත් කරමින් තිබෙනවා.  ඊට දිගින් දිගටම විරෝධතා එල්ල වෙද්දී  උසස්පෙළ සිසුන්ට ද මෙවැනි නායකත්ව පුහුණු ලබාදීමේ සැලැස්මක් තිබෙනවා.

  විශ්ව විද්‍යාල සිසුන්ට නායකත්ව පුහුණුව නමින් හමුදා පුහුණුව ලබාදීම ආරම්භ කළ අවස්ථාවේම සමාජයෙන් විශාල විරෝධයක් ඒ සඳහා මතු වුණා. ඒ සියල්ල නොසලකා එම   සිසුන්ට අනිවාර්ය කර ඔවුන් ඒ සඳහා සහභාගි කරවා ගැනීමට කටයුතු කළා.    ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරමින් සිටින අතර නවක සිසුන් එම ව්‍යාපාරයට ඒම වැලැක්වීම සඳහා මෙසේ   හමුදා පුහුණුව ලබාදීම සිදු කරනවා.

බීමට පිරිසිදු ජලය ඉල්ලු රතුපස්වල ජනතාව හමුදාව යොදවා මර්දනය කරන ලද්දේ සිසු ජීවිත දෙකක් හා තවත් සාමාන්‍ය වැසියෙකුගේ ජීවිතයක් නැති වෙමින්.  

මේ සිද්ධියෙන් ජීවිතයෙන් වන්දි ගෙවූ ළහිරු සඳරුවන් ජයරත්න සිසුවා පිළිබඳ ලංකා ගුරු සංගමය දැඩි ශෝකය පළ කරනවා. ‘