(සිරාජ් හසීම්)
දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ප්‍රමුඛ ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් විය යුතු යැයි එම සන්ධානය නියෝජනය කරන ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය.
දෙමළ ජාතික සන්ධානය තුළ තමිල් අරසු කච්චි පක්ෂයට විවේචන රැසක් මතුවන බවත් එම පක්ෂය දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරයට මුළුමනින්ම පටහැනිව යමින් කටයුතු කිරීම ඊට හේතුව බවත් මෙම සන්ධානයෙන් ගැලවී යා යුත්තේ අනෙක් පක්ෂ ත්‍රිත්වය නොව තමිල් අරසු කච්චි පක්ෂය බවත් ඔහු කීවේය.
සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා මේ අදහස් පළකර සිටියේ යාපනයේ දී මාධ්‍ය හමුවක් කැඳවමිනි.
‘වත්මන් තත්වය මැද තමිල් අරසු කච්චි පක්ෂය දෙමළ ජනතාවට ලබා දුන් පොරොන්දු සියල්ලම කඩවුණු පොරොන්දු බවට පත්ව තිබෙනවා. උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොවිය යුතුයි යන ස්ථාවරයේමයි තමිල් අරසු කච්චි පක්ෂයත් සිටින්නේ. නව ව්‍යවස්ථාව තුළින් බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීම සම්බන්ධනුත් සුමන්තිරනුත් පිළිගෙන තිබෙනවා.එහෙත් උතුරු නැගෙනහිර පළාත් සමගියෙන් පැවතීම ගැන කතා කිරීමට ඔවුන්ට කිසිදු අයිතියක් නැහැ.ඔවුන් ෆෙඩරල් විසඳුම පවා අතහැරලයි කතා කරන්නේ
දෙමළ ජනතාවට ලබාදුන් පොරොන්දු සියල්ලම අතහැර ශ්‍රී ලංකා රජයට පක්ෂව කටයුතු කරමින් රජය ආරක්ෂා කරගන්නා ආකාරයෙන් මොවුන් කටයුතු කරනවා‘ යැයි ද ඔහු කීවේය.

